වාන් ඇළ සිංහලයන්ට එදා කොටි ගැහුවා අද පොලිසිය ගහනවා

            2021 මාර්තු මස 02 දින කන්තලේ වාන්ඇළ විහාරගල ගම්මානයට කඩා වැදුණු පොලිස් බල ඇණියක් සහ වන සංරක්ෂණ නිළධාරීන් ගම්මුන් ගේ ගෙවල් පොඩි පට්ටම් කොට ජනයා පළවා හරිනු ලැබූහ.නිවාස වල තිබූ බුදු පිළිම පොලේ ගසා ලීමට මෙහි පැමිණි ඇතැම් වන නිළධාරීන් කටයුතු කල ආකාරය ගැන ගම්මු මහත් සංවේගයෙන් කතා කරති. ගෙවල් විනාශ කරලීමෙන් නොනැවතුණු පොලිසිය ගම්වාසීන් 28 දෙනෙකුට විරුද්ධව කන්තලේ උසාවියේ නඩු පවරා තිබේ. ඒ වෙන කිසිවකට නොව නිළධාරීන්ට බාධා කිරීම පොලිසිය ඉදිරිපස  රැස් වී බලපෑම් කිරීම ආදී කරුණු ඉදිරිපත් කරමිනි.ගමේ පන්සලේ විහාරාධිපති හිමියන්ට සහ කන්තලේ බෞද්ධ සංගමයේ නීල් මහතාට සිතාසි එවා ඇත්තේ ජනයා පදිංචි කිරීමට පෙළඹවීම හේතු කොටගෙනයි.

              කොට්ටියාර් පත්තුව නොහොත් පැරණි කොටසර ජනපදය තුළ පිහිටි විශාලතම වැව ගංතලාවයි.දෙවන අග්බෝ රජු විසින් කරවන ලද මෙම වැව මහා වැවක් කොට බඳවන ලද්දේ මහා පරාක්‍රමබාහු රජු විසිනි.සිංහල රජ යුගයෙන් පසුව ලන්දේසි සමයේ ද පසුව 1880 වර්ෂය වන විට ඉංග්‍රීසි යුගයේද මෙම වැව යලි ප්‍රතිසංස්කරණයට ලක් කර ඇත. ඉන්පසු නව සොරොව්වක් සමග මෙම මහා වාපිය.නැවත නිර්මාණය කොට ගොවි ජනපද ආරම්භ කරන ලද්දේ 1950 දහකයේ දීය.ඒ වන විට ගංතාලාව මහා වැව කන්තලේ නමින් හැඳින්විණ.වවුනියා පාර්ලිමෙන්තු මන්ත්‍රී වූ වන්නියාසිංහම් ගේ ව්‍යවහාරයක් වූ මේ නාමය භාවිතයට එවකට පාර්ලිමේන්තුව පවා විරුද්ධ නොවුණි.කන්තලේ මෙන්ම සේරුවිල අවට තිබෙන ඇල්ලෙ මහ වැවද මෙලෙසම ප්‍රතිසංස්කරණයට ලක් විය. ඒ නිසා මේ ප්‍ර දේශයේ නවතම ගොවිජනපදයන් හඳුන්වන ලද්දේ ඇල්ල කන්තලේ ව්‍යාපාරය යනුවෙනි.

 වර්ෂ 1815 දී සිංහල රාජ්‍යය ගිවිසුමකින් බ්‍රිතාන්‍යට පවරා දීමේ කාලවකවානුව වන විට මෙම  ප්‍ර දේශ ඝන කැළයට යටව තිබුණි. පොළොන්නරුව මැදිරිගිරිය මෙන්ම ත්‍රිකුණාමලය අවට ජනපද කරණය සිදු වන විට මෙම ප්‍රදේශය චුන්ඩන්කාඩු රක්ෂිතය ලෙසට 1940 දී ගැසට් කරන ලද්දක් විය.ඒ මුඩුබිම් පණත් මගින් ඉංග්‍රීසි ආණ්ඩුව පවරාගත් භූමියයි. මහ වැලි ගඟ මුහුදට වැටෙන්නේ ත්‍රිකුණාමාලයෙනි.මහවැලි ගඟින් උතුරු පෙදෙස එනම් අක්කර 41381 ක වපසරිය මෙම නාමයෙන් මිනුම්දෝරු සිතියම්වලට ඇතුලත් ව තිබේ.නමුත් කන්තලේ ගොවි ජනපද බිහිකරන කල්හි මෙම රක්ෂිතයෙන් ඉඩම් රාශියක් බැහැර කොට නව ගම්මාන ඇති කරන ලදහ. මේවා නව ජනපද ලෙසට සැළකුවද රක්ෂිතය ලෙසට නම් කළ සෑම කොටසකම දක්නට ලැබුණේ ‌ෙඑතිහාසික සිද්ධථානයන්හි නටබුන්ය. මේ නිසා පණහේ දශකයේ දී මෙම පළාතට වැඩම කළ අස්ගිරි පාර්ශවයේ පූජ්‍ය උදළුමඩ ගුණරතන ස්වාමීන් වහන්සේ ගේ මූලිකත්වයෙන් සිංහල ගම්බිම් යළි බිහි වන්නට විය.සේරුවිල මෙන්ම ත්‍රිකුණාමල ප්‍ර දේශය තුළද අති විශාල සිංහල ජනගහනයක් ස්ථාපිත වන්නේ පැරණි උරුමයන් සොයා පැමිණි භූමිපුත්‍රයන් නිසාවෙනි.මහවැලි ගඟෙන් උතුරට පවතින සියලුම විහාරස්ථාන අස්ගිරියටත් මහවැලි ගඟ‌ින් දකණට පවතින සියලුම විහාරස්ථාන මල්වත්තටත් අයිති බව ඉංග්‍රීසීන් පීළිගත් බවද මෙහිදී සඳහන් කල යුතුය.එම ප්‍රකාශය ලෝරි ගැසට්ටුවේ සඳහන්ය.ගංතලාව වැව සහ එයට සමාන්තරව තිබෙන නිවුන් වැව වූ වෙන්ඩ්‍රාසන් කුලමට අමතරව මෙම වාරි ද්‍රෝණියේ තිබෙන අනෙක් විශාලම වැව වන්නේ වාන් ඇළ මහ වැවයි.මෙම වැව් තුනට අමතරව මධ්‍යම ප්‍රමාණයේ වැව් මෙන්ම කුඩා වැව් රාශියක්ම මෙහි පිහිටා තිබේ.

1961 වර්ෂයෙන් පසු මින්නේරිය කන්තලේ යෝධ ඇළ නැවත ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු අසූව දශකය වන තෙක්ම කන්තලේ ගොවි ජනපද ව්‍යාපාරය වරින් වර පුළුල් විය.කන්තලේ ත්‍රිකුණමල මාර්ගය අවට විශාල ගම්මාන රාශියක් ඇති වූ බව මෙහිදී කිව යුතුය.1964 දී වාන් ඇළ සංවර්ධන ව්‍යාපාරය ආරම්භ කරන ලද අතර එම කටයුත්තට අදාලව ජනතාව පදිංචි කිරීම් 1968 දක්වා සිදු වී තිබේ.ඒ අනුව වාන් ඇළ ගොවි ජනපදයත් ඊට අමතරව මීගස්වැව සහ විහාරගල යන වැව්ගම්මානයන්ද සංවර්ධනයට ලක් වී 1980 දක්වා දිවෙන කාල පරාසය තුළයි..මින් විහාරගල වැව අසල අනුරාධාපුර යුගයට අයත් සෙල් ලිපි සහිත ලෙන් විහාරයක් පිහිටා තිබේ.    අතීත මුතුන් මිත්තන් විසින් ගොඩ නැගුණු සිංහල ශිෂ්ඨාචාරය නැවත අදියරෙන් අදියර නැවත පණ නැන්වෙන කල්හි අවාසානාවන්ත කාල පරිඡේදයක් උදාවිය.එනම් උතුරෙන් පටන් ගත් දෙමළ කොටි ව්‍යාපාරයයි. දෙමළ ඊළම වෙනුවෙන් සටන් වැදුණු කොටි ත්‍රස්තයන් උතුර සහ නැගෙනහිර දෙමළ නිජ භූමි වශයෙන් මිථ්‍යා ප්‍රබන්ධයන් ඔස්සේ යමින් අවි ආයුධ සන්නද්ධ ත්‍රස්ත ව්‍යාපරයකට අවතීර්ණ විය.යාපනයේ දොරේඅප්පා ඝාතනයේ සිට වරින් වර මනුෂ්‍ය ඝාතන කරමින් විශේෂයෙන්ම සිංහල ගම්බ්ම් වල සිටි අහිංසක වැසියන් ඝාතනය කරමින් ඊනියා දෙමළ නිජභූමිය තුළ වාර්ගික පවිත්‍රකරණයක් සිදු කළහ.නැගෙනහිර පළාතේ වැලිඔය ත්‍රිකුණාමලය මඩකලපුව මෙන්ම පෙලොන්නරුවත් මේ ත්‍රස්ත ප්‍රහාරයන්ට නතු වූහ. ඊනියා සටන් විරාම ගිවිසුම නිසා කන්තලේ ගොවිජනපද ව්‍යාපාරයටත් මේ කලබල ඇති විය. 1990 ජූලි 25 දින වාන් ඇළ විහාරගල ගම්මානයට කඩා පීනූ මේ කොටි ත්‍රස්තයන් ගම් වැසියන් එකොලෙස් දෙනෙකු කපා කොටා ඝාතනය කළහ.මෙම ප්‍රහාරයෙන් සිවු දෙනෙකු තුවාළ ලබා ජීවිත රැක ගත්හ. මේ භීෂණය නිසා සිංහලයන් සිය ගම්බිම් හැර දමා කන්තලේ නගරාසන්නයට සහ හබරණ පොලෙන්නරුවට සංක්‍රමණය වූහ.

     කොටි සමග සිදු කළ අනවරත සටන් නිමාවට පත් වූයේ ශ්‍රී ලංකා ත්‍රිවිධ හාමුදාව වීරෝධාර ලෙසට ඔවුන් හඹා  ගොස් වටකර පහර දීමෙනි. අවසානයේ නන්දි කඩාල් කලපුවේ දී ප්‍රභකරන් ඝාතනය වීමත් සමග මේ ආක්‍රමණය අවසන් විය.අනතුරුව රජය ඉදිරියේ පැවතීයේ නටබුන් වූ යුධ කලාපය නැවත යථා තත්වයට පත් කර ගැනීමයි.ඒ සමගම අවතැන් වූ ජනී ජනයා පදිංචි කිරීම සිදු කල යුතුව තිබුණි. නමුත් අවාසනාවකට මේ කටයුත්ත නිසි පරිදි සිදු නොවීය.ඒ සමගම රජය පත් කළ කොමිසම් නිසා යුධ ජයග්‍රහණය විසින් අත්පක් කර දුන් මානසිකත්වය බෙලහීන විය.ඉන්දීය රජයේ බලපෑම් මධ්‍ය යේ උතුරේ සිංහලයන් නැවත පදිංචි කිරීම සිදු නොවීය. යාපන නාවක්කුලියේ සිංහල ගම්මානය සෑදුණේ බලයෙන් මෙනි.ත්‍රිකුණාමල මඩකලපු දිස්ත්‍රික්කයේ  තත්වය ඉතාමත් ශෝචනීය විය.සිංහලයන්ට ලැබුණු කුඩම්මාගේ සැළකිල්ල මේ වන විට කවුරුත් අත් දැක ඇත. මේ නිසා 1990 දී අවතැන් වූ වාන් ඇළ විහාරගල ජනතාවටත් සාධාරණයක් ඉටු නොවීය. මහින්ද රජපක්ෂ රජය 2015 දී පරාජයට පත් වූ පසු තත්වය තවත් නරක අතට පත් විය. සිංහලයන් කෙසේ වෙතත් මුස්ලිම් සහ දෙමළ ජනයා බලහත්කාරයෙන් මෙන් උතුරේ සහ නැගෙනහිර කැලෑ කපමින් පදිංචිවන්නට විය. ඇතැම් තැන් වල තමන්ගේ වර්ගයාගේ දේශපාලකයන් ගේ නොමද සහයෝගය ලැබූ මුස්ලිම් පිරිස් කැලෑ බිම් වලට ප්‍රකාශන ඔප්පු සාදා ගනිමින් ආක්‍රමණය කරමින් උන්හ. යහපාලන රජය බලයෙන් පහ වූ අනතුරුව ජනයා සුසුම් හෙළමින් තමන්ගේ කමට තැනක් ලැබුණි යැයි උදම් ඇණූහ. ඒ අනුව වන් ඇළ විහාරගල පැරණි ගම්මානයේ නැවත පදිංචි වීම් ආරම්භ වනුයේ 2020 අවසාන භාගයේ ය. විහාරගල නව විහාරස්ථානයක් ඇරඹෙමින් භික්ෂූන් වහන්සේ නමක් වැඩ වාසය කිරීම සිදු වීම මීට ආසන්නතම හේතුව විය.

.

     දැන් විහාරගල ගම්වාසීන් නැවතත් අවතැන් වී සිටී.පොලිසිය විසින් කළ අඩන්තේට්ටම් වලින් පසු ඔවුහු විහාරගල විහාරස්ථානයේ කඳවුරු ගසාගෙන තාවකාලිකව පදිංචි වී සිටී.මේ අවනඩුව දැන් ඉංග්‍රීසි නීතිය ඉදිරියේ විභාග වෙමින් තිබේ. 1940 ඉංග්‍රීසින් විසින් ගැසට් කරන ලද චුන්ඩන්කාඩු නම් වන රක්ෂිතයට විහාරගල ගම  අයත් යැයි වන නිළධාරීන් පවසති.සැබෑය. එවැනි රක්ෂිතයක් තිබී ඇත. නමුත් 1950 සිට 1980 දක්වා වූ කාලයේ දී ගොවි ජනපද ආරම්භ කරන කල්හි මේ ඝන කැළෑවට යටවූ භූමිය නැවත ජනයාට පවරා දී තිබේ.නමුත් රජයේ යම් අතපසුවීමක් නිසා මෙලෙස ඉවත් කරන ලද ගම්බිම් රක්ෂිතයෙන් ඉවත් කර නැත.දැන් නව ගැසට්ටුවක් මගින් චුන්ඩන්කාඩුව අලුත් සැලැස්මකට සළකුණු කර තිබේ.එයට විහාරගල පමණක් නොව වාන් ඇළ මහාවාරි ව්‍යාපාරයත් අයත්ය.සැබවින්ම ලංකාවේ මහ වනය දේශපාලකයන් විසින්ද අතැම් නිළධාරීන් ගේ අතයට ගනුදෙනු නිසාද විනයක් නොමැති සාමාන්‍ය ජනයා නිසාද විනාශ වෙමින් ඇත. මේ වනය තවදුරටත් ආරක්ෂා නොවුණහොත් ජල සම්පත ලබා ගැනීම උගහට වනු ඇත. මේ නිසා පදිංචි වීම් ගොවිතැන් කටයුතු සිදු කරන භූමි වෙන් කර ගැනීමත් ඒවා පරිසර හිතකාමී ලෙසට සකස් කර ගැනීමත් කළ යුතුය. විශේෂයෙන්ම රජයේ වන රක්ෂිත ආසන්නයේ පවතින ගම්මාන වන ගම්මාන ලෙසට සකස්කර ගැනීම වඩාත් කාලෝචිතය.වාන් ඇළ රජයේ රක්ෂිතයට කොටු කර ජනයා පලවා හැරීම නොව වන රක්ෂිතය රකින වන ගම්මානයක් කරවීම මගින් මේ ගැටළුවට විසඳුම් ලැබෙනු නිසැකය.ඩවුබිගින් පන්නයේ පොලිසියත් ඉංග්‍රීසි නීතියත් වඩා මානුෂීය වන්නේ නම් මේ දුරදිග රැගෙන යා යුතු ප්‍රශ්ණයක් වන්නේ නැත. ප්‍රදේශයේ දේශපාලඥයන්ටද නැගෙනහිරභාර ආණ්ඩුකාරවරියටද මෙහිදී විශාල වගකීමක් පැවරෙනු ඇත.

මතුගම සෙනෙවිරුවන් >>> http://seneviruwan.blogspot.com/2021/04/blog-post_28.html>>>

 74 total views,  2 views today

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments