සියලුම උත්සව මහජන රැස්වීම් සති 2කට තහනම්

රටපුරා දැඩිව පැතිර යන කොවිඩ් 19 වසංගත තත්ත්වයත් සමඟ ලබන සඳුදායින් පසුව මංගල උත්සව ඇතුළු සියලුම මහජන එක්රැස්වීම් සඳහා අවසර ලබා නොදෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.
මෙම තීරණය ලබන සඳුදායින් පසුව සති දෙකක කාලයක් බලපැවැත්වෙනු ඇති. මේ අතර මෙරටින් ඊයේ හඳුනාගත් කොරෝනා ආසාදිතයින්ගෙන් තුනෙන් එකක්ම කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා. හඳුනාගත් නව ආසාදිතයින් 1531 දෙනාගෙන් 533 දෙනෙකුම කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.
කොළඹ දිස්ත්‍රික්කයේ
මහනගර සභා සීමාවෙන් 146 දෙනෙකු
පිළියන්දලින් ආසාදිතයින් 129 දෙනෙකු,
මුල්ලේරියාවෙන් ආසාදිතයින් 31 දෙනෙකු
ඊයේ වාර්තා වුණා. කෙසේ වෙතත්,
කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි කියා සිටියේ කොළඹ නගරය තුළ කොරෝනා ආසාදිතයින් වාර්තා වීමේ අඩුවක් දක්නට ලැබෙන බවයි.
මේ අතර, ඊයේ ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 145 දෙනෙකු බැගින් වාර්තා වී තිබෙනවා.
කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 107 දෙනෙකු, මහනුවරින් 85 දෙනෙකු ගාල්ලෙන් 84 දෙනෙකු වාර්තා වී ඇති බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියා සිටියේ.
එමෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 48 දෙනෙකු, මාතරින් 46 දෙනෙකු සහ නුවරඑළියෙන් ආසාදිතයින් 43 දෙනෙකු වාර්තා වනවා. ගත වූ තෙදින තුළ පමණක් කොරෝනා ආසාදිත මරණ 20ක් මෙරටින් වාර්තා වී ඇති අතර ඉන් 15ක්ම සිදුව ඇත්තේ කොවිඩ් නිව්මෝනියා තත්ත්වය හේතුවෙන්.
මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 667ක් දක්වා ඉහළ ගියේ ඊයේ දිනයේදීත් මරණ 6ක් මෙරටින් වාර්තා වීමත් සමඟයි. මේ අතර, ඇතිමලේ පොලිස් ස්ථානයේ කොරෝනා ආසාදිත මුළු නිලධාරීන් සංඛ්‍යාව 50 දක්වා ඉහල ගොස් තිබෙනවා. මීට පෙර කොරෝනා ආසාදිත නිලධාරීන් 20 දෙනෙකු වාරථා වූ අතර පසු සිදුකරන ලද කොරෝනා පරීක්ෂණවලින් අනතුරුවයි අනෙක් 30 දෙනා හඳුනාගෙන ඇත්තේ. පසුගිය 25 වන දා ඔවුන්ගේ කොරෝනා පරීක්ෂණ සිදුකර ඇති අතර ප්‍රතිඵල ප්‍රමාද වීම නිසා ඔවුන් නිවෙස්වලට යොමු කර තිබුණා. මෙම පිරිස ඇතිමලේ ප්‍රදේශයේම පදිංචි පොලිස් නිලධාරීන් වන අතර අද උදෑසනයි එම පරීක්ෂණවල ප්‍රතිඵල ලැබී ඇත්තේ. කෙසේ වෙතත්, නිවෙස්වල සිටි ඔවුන් මේ වන විට ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බවයි ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය සදහන් කළේ. එමෙන්ම, හැටන් – කොටගල ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක සහකාර කළමනාකාරවරයෙකුට ද කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ එම බැංකු ශාඛාව තාවකාලිකව වසා දමා එහි කාර්ය මණ්ඩලය නිරෝධායනයට යොමු කර තිබෙනවා. කළුතර දිස්ත්‍රික්කයේ සියළුම කොරෝනා රෝහල් මේ වනවිට රෝගීන්ගෙන් පිරී පවතින බවයි බස්නාහිර පලාත් සෞඛ්‍ය ලේකම්වරයා සඳහන් කළේ. මේ වන විට දිවයිනෙන් මූලාශ්‍ර සොයා ගත නොහැකි කොරෝනා අනු පොකුරු වාර්තා වීමේ අවදානමක් මතුව ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කළා.
එමෙන්ම, කොරෝනා වසංගතයට කැපවීමෙන් වැඩ කරන සෞඛ්‍ය නිලධාරීන්ට විවිධ තර්ජන එල්ල වෙමින් පවතින බව ද ඔහු කියා සිටියා. මේ අතර, කොරෝනා රෝගීන් වැඩි වශයෙන් වාර්තා වීමත් සමඟ අද උදෑසන සිට දිස්ත්‍රික්ක 3ක පොලිස් බල ප්‍රදේශ 5ක් සහ ග්‍රාම නිලධාරී වසම් 3ක් හුදෙකලා කිරීමටයි පියවර ගැනුණේ. මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල, ගලේවෙල, මාතලේ සහ නාවුල යන පොලිස් බල ප්‍රදේශ හුදෙකලා කෙරුණා මීට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල පොලිස් බල ප්‍රදේශය සහ කුරුණෑගල පොලිස් බල ප්‍රදේශයේ උඩබදලව ග්‍රාම නිලධාරී වසම හුදෙකලා කළ බවයි යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේ.
එමෙන්ම මොණරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව පොලිස් බල ප්‍රදේශයට අයත් ගල්අමුණ සහ හෙළමුල්ල යන ග්‍රාම නිලධාරී වසම් ද මෙලෙස හුදෙකලා කෙරුණා.
ඒ අනුව පසුගිය 20 වන දා සිට දින 10ක කාලයක් තුළ දිවයිනේ දිස්ත්‍රික්ක 9කට අයත් පොලිස් බල ප්‍රදේශ 23ක ග්‍රාම නිලධාරී වසම් 100කට වැඩි ප්‍රමාණයක් හුදෙකලා කර තිබෙනවා. මේ අතර, සෞඛ්‍යාරක්ෂිත උපදෙස් අනුගමනය නොකළ බස්නාහිර පළාතේ හෝටල්, අවන්හල්, විවේකාගාර, කැසිනෝ සහ සමාජශාලා ඇතුලු ස්ථාන 932 කට සහ පුද්ගලයන් 5,743 කට අවවාද කළ බව පොලීසිය ප්‍රකාශ කළා.
දැනට පවතින කොරෝනා වෛරස් ප්‍රභේදයට අනුව දෙදෙනෙකු අතර සමාජ දුරස්ථභාවය මීටර් 2ක පරතරයක් පවත්වා ගෙන යාම වඩා වැදගත් බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න කියා සිටියේ.

 54 total views,  2 views today

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments