පොල් ගහෙන් පෙරා නොගත් “පොල් රා” කොච්චිකඩෙන් සොයාගනී

කොච්චිකඬේ පොලිස්  ස්ථානයේ සිට කිලෝමීටර තුනක දුරින් බලපත‍්‍ර උල්ලංඝණය කරමින් කෘත‍්‍රිම ලෙස පොල් රා නිෂ්පාදනය කරන ලද ස්ථානයක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් වටලා තිබෙනවා. එම ස්ථානයේ  රා නිෂ්පාදනය කරමින් සිටි පුද්ගලයෙකු හා කාන්තාවන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන සදහා  ඔවුන් මිගමුව සුරා බදු ස්ථානය වෙත භාර දී තිබෙනවා.

බලපත‍්‍ර ලාභී රා නිෂ්පාදනාගාරයක් වන මෙම ස්ථානය බලපත‍්‍ර කොන්දේසි උල්ලංඝණය කර ඇති බව මුලික පරීක්ෂණවලදී අනාවරණය වුණා. කොච්චිකඬේ අංක 12/36/පි පාසල් මාවතේ පිහිටි  ඕවිටියාවත්ත ප‍්‍රදේශයේ මෙම ස්ථානය  පවත්වාගෙන ගොස් ඇති අතර මෙම ස්ථානයේ තිබී ගෝඩා ලීටර 4000 ක්, මිලිලීටර 625  පොල් රා බෝතල් 2760 ක්, සිනි කිලෝග‍්‍රෑම් හතක්, ඇමෝනියා කිලෝග‍්‍රෑම්  පහක් හා ඊස්ට් තොගයක් සොයා ගෙන තිබෙනවා.

ඒ අනුව මනුෂ්‍ය පරිභෝජනට නුසුදුසු රසායනික ද්‍රව්‍ය භාවිතා කරමින් කෘත‍්‍රිමව නිෂ්පාදනය කරන රා මෙම ස්ථානයේ බෝතල් කර රට පුරා බෙදාහැර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.  වැටලීම සිදු කරන අවස්ථාවේදී බලපත‍්‍රය කල් ඉකුත් වි ඇති බවද අනාවරණය වී තිබෙනවා. කෘතිම රා නිෂ්පාදනය  මෙරට බලපවත්නා  සුරා බදු නීතිය අනුව නීති විරෝධි ක‍්‍රියාවක් බවයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසන්නේ. එම නිසා කෘත‍්‍රිම රා සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක කිරීමේදී එම කෘත‍්‍රිම රා නිර්ව්‍යාජ රා වලින්  හදුනා ගැනීම සදහා ප‍්‍රමිතියක් හදුන්වා දිමටද එම දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කදවුරේ ප‍්‍රධාන පොලිස් පරික්ෂක එම්.එම්.එන්.කේ.මාරසිංහ හා උපපොලිස් පරික්ෂක ඩි.එල්.ඩි.ටි.ප‍්‍රසන්න ඇතුලූ නිලධාරින් පිරිසක් වැටලීම සිදු කර තිබෙනවා.

 90 total views,  10 views today

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments