කුඩම්මාගේ සැලකිල්ලක් – රන්පත්විල මහා විද්‍යාලයේ ප‍්‍රමාණවත් පහසුකම් නෑ

කහටගස්දිගිලිය අධ්‍යාපන කොට්ඨාසයේ කහටගස්දිගිලිය රන්පත්විල මහා විද්‍යාලයේ ප‍්‍රමාණවත් ගොඩනැගිලි සහ අනිකුත් පහසුකම් නොමැතිකම හේතුවෙන් එහි අධ්‍යාපනය ලබන සිය ගණනක් සිසු සිසුවියන් පිරිසක් දැඩි දුෂ්කරතාවලට මුහුණ පා සිටිති.

මේ හේතු කොට ගෙන එම සිසු සිසුවියන්ට ගස් යට සහ ක‍්‍රීඩාගාරයේ අධ්‍යාපනය ලැබීමට සිදුවී ඇතැයි ගුරු දෙගුරුන් පිරිස පවසති.

මෙම පාසලේ බොහොමයක් පන්ති පවත්වන්නේ පාසල් භූමියේ පවතින ගස් යට හා අවම පහසුකම් ඇති ක‍්‍රීඩා පිටියේ පේ‍්‍රක්ෂකාගාරයේ වීම කනගාටුදායක තත්ත්වයකි.

මෙම වසරේ ජූලි මාසයේ සියවස සපුරන එම විදුහල ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු කථානායකවරයකු සහ අමාත්‍යවරයකු ඇතුළු දේශපාලඥයන් සහ ප‍්‍රමුඛ පෙළේ රාජ්‍ය නිලධාරීන් රැුසක් රටට දායාද කළ පාසලකි.

පාසලට පැමිණෙන දරුවන්ගේ වර්ධනය වීමත් සමග සිසු දරුවන්ගේ දෙමාපියන් විසින් සිය කැමැත්තෙන් ඉදිකළ මඩුවකට සමාන ගොඩනැඟිලි කීපයක් තිබුණද අධ්‍යාපනය ලබන දරුවන්ට එය කිසිසේත් ප‍්‍රමාණවත් නොවන බව දෙමවුපියෝ පෙන්වා දෙති.

මේ වනවිට එම පාසලේ දරුවන්ට සෞන්දර්ය විෂය උගන්වන ශාලාව දිරාපත්ව ඇති අතර එහි වහලය සහ බිත්තිවල වේයන්ගේ තුඹස් බහුලව දැකිය හැකිය.

පරිගණක විද්‍යාගාරයට දෙදාහ වර්ෂයේදී පමණ ලැබී ඇති පරිගණක භාවිතයට ගැනීමට නොහැකි තත්ත්වයක පවතින අතර වගකිවයුත්තන්ගේ අවධානයක් යොමු නොවීම හේතුවෙන් ඒවා කිසිදු ප‍්‍රයෝජනයකට නොගෙනම ගබඩා කාමරයක ගොඩගසා තැබීමට සිදුව ඇති බව පැවසේ.

කහටගස්දිගිලිය රන්පත්විල විදුහලේ ආදි ශිෂ්‍ය සංගමය පවසන්නේ පාසල තුළ පවතින පරිගණක දෙදහ වසරේ මුල් භාගයේ පාසලට ලැබුණු ඒවා නිසා නූතනයේ පවතින මෘදුකාංග මේ වන විට භාවිත කිරීමට නොහැකි තත්ත්වයක ඇති බවයි.

මේ අතර එම පාසලේ දරුවන්ට ක‍්‍රීඩා විෂය තිබුණද, ක‍්‍රීඩාව නගා සිටුවීමට අවශ්‍ය ක‍්‍රීඩා උපකරණ සහ ක‍්‍රීඩා පිටිය නිසියාකාරව සකස් කිරීමට පියවර නොගැනීමත් හේතුවෙන් ක‍්‍රීඩා කුසලතාවන් වර්ධනය කර ගැනීමට හැකියාවක් නොමැති බව සිසු දරු දැරියන්ගේ දෙමවුපියෝ පවසති.

පැවැති රජයන් සහ වත්මන් රජයෙන්ද එම පාසලට ලැබී ඇත්තේ කුඩම්මාගේ සැලකිල්ලක් බව කහටගස්දිගිලියේ පදිංච එච්. පී. දිසානායක මහතා පැවසීය.

පාසලේ පවතින අඩුපාඩු සොයා බලා දුප්පත් දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවීම වෙනුවෙන් බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුය. දරුවන්ගේ ආරක්ෂාව බිඳ දමමින් කඩා වැටීමට ආසන්නව පවතින ගොඩනැගිලි ඉවත්කර වැස්සට නොතෙමී අධ්‍යාපනය ලැබීමට සුදුසු තත්ත්වයේ ගොඩනැගිලි පහසුකම් ලබා දෙන ලෙස රජයට සහ උතුරු මැද පළාත් සභාවට යෝජනා කරනවා යැයි දිසානායක මහතා කීවේය.

ගොවිතැන ජීවනෝපාය කරගත් අසරණ ගැමි ජනතාවගේ විවිධ දක්ෂතාවන්ගෙන් යුත් සිසු දරු දැරියන් පිරිසක් එම පාසලේ අධ්‍යාපනය ලැබුවද එම දක්ෂතාවන් වර්ධනය කර ගනිමින් ජාතික හා ජාත්‍යන්තරයට යෑමට නොහැකිව ඇත්තේ පාසලේ පවතින අඩුපාඩු හේතුවෙන් බව යූ. ඞී. නයනා මහත්මිය පැවසුවාය. යමක් කමක් තිබෙන පාසල්වලට ඕනෑ තරම් භෞතික සම්පත් නිරතුරුව ලැබුණත්, කහටගස්දිගිලිය රන්පත්විල පාසල් ළමුන්ටත් එවැනි වාසනාවක් උදාකර දෙන්නට ඉදිරිපත් වන ලෙස ඇය වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටිති.

 76 total views,  2 views today

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments