සමාජය රකින්න ගෙන යන වැඩපිළිවෙළ වැරදි කියා පවසා නැහැ – මේරියන්ස් නායක නලීන් පෙරේරා

පවතින කොවිඩි වසංගත තත්ත්වය සංගීත කලාව ඇතුළු සකල කලාවට ද ඉතාමත් අහිතකර බලපෑම් එල්ලකර ඇති මොහොතක ‘දිවයින සිනමා කලා’ එ් පිළිබඳව විමසමින් මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක, ප‍්‍රවීණ ගායන ශිල්පී, නලීන් පෙරේරා සමග කළ කතා බහක් මතු ගෙන හැර දක්වමු.

nalina333පවතින තත්ත්වයෙන් ගොඩ එ්ම සඳහා වග කිව යුතු අංශ සමග ඔබලා දීර්ඝ ලෙස සාකච්ඡුා පැවැත්වූ බව පැවසුවා…

ඔව්. අපි සෞඛ්‍ය අංශ පමණක් නෙවෙයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සමගත් මේ පවතින කොවිඩි වසංගත තත්ත්වය සමග ගෙවී යන සියලූ කලාකරුවන්ගේ ජීවිත පිළිබඳව සාකච්ඡුා කළා. අපි කොතැනකදීවත් ඔවුන් මේ සමාජය රකින්න ගෙන යන වැඩපිළිවෙළ වැරදි කියා පවසා නැහැ. නමුත් රටේ හැමෝට ම වගේ මේ ප‍්‍රශ්නය අපිටත් ලොකුවට බලපාලා තියනවා. කලාකරුවන්ව ගෙදර තියාගෙන රකින සෞඛ්‍ය කුමක් ද කියා අපටත් ප‍්‍රශ්නයක් තියනවා. මොකද ඕනෑම නීතියක් හැමෝට ම පොදු විය යුතුයි. රාති‍්‍ර සමාජශාලා සහ ප‍්‍රසිද්ධ තැන්වල ඕනෑ තරම් උත්වස පි‍්‍රයසම්භාෂණ පැවැත්වුණත් ඔය කියන සෞඛ්‍ය මාර්ගෝපදේශන ඔවුන්ට අදාළ නැති තත්ත්වයක් පෙනෙන්නට තිබෙනවා. එහෙම නම් එ්වාට අනුමැතිය දුන්නේ කවුද? අපි ඉල්ලන්නේ අඩු තරමේ විවාහ මංගල උත්සවයකදීවත් අපේ සංගීක කණ්ඩායමක් සහභාගී කරවීම වෙනුවෙන් පූර්ණ සෞඛ්‍ය මාර්ගෝපදේශනයට යටත්ව දෙසිය දෙනෙකුටවක් අවසරය ලබා දෙන ලෙසයි. දැනට යෝජනා වී ඇති පනස් දෙනා කිසිසේත් ප‍්‍රමාණවත් නැහැ කියන එක තමයි කියන්නට තිබෙන්නේ.

ඔබලා සෞඛ්‍ය අංශ සමග පැවැති සාකච්ඡුාවේදී මේ පිළිබඳව දැනුවත් කළාද…

ඇත්ත වශයෙන්ම ඔව්. මේ පවතින සෞඛ්‍ය රෙගුලාසි සමග දෙසිය දෙනෙකුගේ සහභාගීත්වයෙන් මංගල උත්සවයක් කළ හැකි ආකාරය පිළිබඳව අප පැහැදිලි කළා. මංගල්‍යය වෙනුවෙන් ලබා දෙන ආරාධනා පතින්ම මේ සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් පැමිණෙන ආරාධිතයන්ට දැනුම් දිය හැකියි. උත්සවය පැවැත්වෙන ශාලාවේ පිරිසටත් මෙතැනදී වගකීමක් පැවරිය හැකියි. මෙතැන දී සහභාගී වෙන පිරිස ආහාර ලබා ගැනීම ඇතුළු සෑම තැනකදීම පිළිපැදිය යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශනයන් අනුව යමින් අපට මෙය සාර්ථක කර ගත හැකියි. අපි මේ කරලා තියන්නේ ඉතාමත් සාධාරණ ඉල්ලීමක්. මේ ඉල්ලීමට අද අවසර දුන්නත් තව මාස දෙක තුනක් යන තුරු අපට වැඩ ලැබෙන්නේ නැහැ. මොකද කල් තැබූ විවාහ උත්සව එකපාරට ම හෙට පවත්වන්නට හැකියාවක් නෑනේ. ඇත්තට ම විවාහ උත්සවයක් පැවැත්වීමත් එක්තරා විදිහක කර්මාන්තයක් පටන් ගත්තා හා සමානයි. අපේ සංගීත කණ්ඩායම් විතරක් නෙවෙයි බොහෝ දෙනෙකු එ් හරහා වක‍්‍රව ආදායම් මාර්ගයක් ඇති කර ගන්නවා. එ්ක වෙඩින් කේක් කෑල්ල හැදීමේ සිට වෙඩින් එක අවසානය දක්වා ම සිදුවන්නක්. ඉතිං අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ වෙනුවෙන් ඔබතුමාගේ අවධානය යොමුකර වග කිව යුතු අනෙකුත් අංශ දැනුවත් කර අපට සාධාරණයක් ඉටු කර දෙන්න මැදිහත් වෙන්න කියලා.

පවතින තත්ත්වය සමග අපේ කලාකරුවන් ඇත්තට ම අසරණ වෙලා ද, මොකද සමාජයේ පිළිගැනීම තිබෙන්නේ කලාකරුවන් බොහොමයක් යම් ආර්ථීක ස්ථාවරයක සිටින බව නේද…..

මෙහෙමයි. කලාකරුවා සහ සාමාන්‍ය පුද්ගලයා කියන්නේ දෙන්නෙක්. ඔවුන්ගේ අවශ්‍යතාවන් වුණත් වෙනස්. කලාකරුවා බෙහෝ වෙලාවට වෙනම ඇඳුම් පැළඳුම් යාන වාහන භාවිත කරමින් තමයි මේ කලාව කරන්නේ. මම මේ කතා කරන්නේ සකල කලාවම ගැන. මෙතැන දී කාන්තා කලා කාරියනට තිබෙන වියදම් තවත් වැඩියි කියලා තමයි කියන්න වෙන්නේ. මේ අය අතරින් බහුතරයක් කුමක් හෝ ණයක් ලබාගෙන තමයි මේ විදිහට ජීවිතය ගෙනයන්නේ. එතකොට මේ පවතින තත්ත්වය යටතේ ඔවුන් කොහොමද අර ණය ගෙවන්නේ. කලාකරුවන් අතුරින් අතළොස්සක් තව මාස කිහිපයක් හරි මේ පවතින තත්ත්වය සමග දිවි ගෙවයි. එ්ත් බහුතරයකට අද එක සිංදුවක්වත් කියලා කීයක්වත් හොයා ගන්න බැරි විදිහට අන්ත අසරණ තත්ත්වයකට පත්ව සිටිනවා. අද ඔවුන්ට එදිනදා ආහාරය සපයා ගැනීමත් විශාල ප‍්‍රශ්නයක් වෙලා. වැඩ ලැබෙන්නේ නැතිනම්, වැඩක් කරන්න පුළුවන් වටාපිටාවක් නැතිනම් මොන කලාකාරයට ද සල්ලි ලැබෙන්නේ. හරියට කීවොත් අපියි කුළිකාරයෝයි අතර වෙනසක් නෑ. වැඩ නැත්නම් දෙගොල්ලට ම සල්ලි නැහැ. දෙගොල්ලො ම බඩ ගින්නේ. අද වෙලා තියෙන්නේ එ්ක නෙවෙයි ද කියලා අහන්න කැමතියි.

කොවිඞ් තව කාලයක් පවතින බව කියවෙනවා. එහෙම වෙනවා නම් ජීවත්වීම වෙනුවෙන් හැමෝට ම කිසියම් යාන්ත‍්‍රණයක වුවමණාව මතු වෙනවා නේද…

ඇත්ත. අපි මේ ඉල්ලන්නේ එ්ක තමයි. ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් එ් යාන්ත‍්‍රණය සෑදිය යුතුව තිබෙනවා. මම සංගීත කණ්ඩායමක නායකයකු හැටියට කණ්ඩායම එක තැනක තබා ගැනීමටත් සාමාජිකයන් රැුක ගැනීමටත් ඔවුන් නඩත්තු කිරීමටත් දැඩි අභියෝගයකින් යුතුව කටයුතු කළා. මේ සෑම නායකයකුට ම ඇති අභියෝගයක්. මේ වෙනකොට එ් කියපු දේවල් කරලා අපි හන්ටර් වෙලා ඉන්නේ කීවොත් එ්ක බොරුවක් නෙවෙයි. හුඟක් අය ගිය මාර්තුවේ සිට ඉතිරි කරපු සෑම මුදලක්ම එළියට ඇදලා කාලා බීලා වියදම් කරලා ඉවරයි. මේ තත්ත්වය තව දුරටත් පැවැතියහොත් අපේ සම්බන්ධතා ගැලවිලා යන්න පුළුවන්. දැන් අපට එදා වේල කන්නත් මුදල් අවශ්‍ය ම මොහොතක්. එ් නිසා තමයි මේ පවතින තත්ත්වයත් එක්ක කලාව කරගෙන යන්න පුළුවන් ක‍්‍රමවේදයක් ඉල්ලන්නේ. කලාව කියන්නේ කාටවත් නොපෙනෙන විශාල පිරිසක් යැපෙන කර්මාන්තයක්. අද මේක සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වෙලා තියෙන්නේ.

කලාකරුවා කිසිම රජයකට බරක් නොවුණු බව ද ඔබ කියන්නේ…

අනිවාර්යයෙන්ම ඔව්. කලාකරුවා කියන්නේ කිසිම රජයකට බරක් වුණු පුද්ගලයෙක් නෙවෙයි. මේ පවතින රජය අපට යම් උපකාරයක් කරනවා නම්, කළා නම් අප එ් පිළිබඳව රජයට ස්තුතිවන්ත වෙනවා. අපි අහන්නේ මේ වෙලාවේ අපිව විතරක් ගෙදර තියලා රකින්න හදන සෞඛ්‍ය කුමක් ද කියලා විතරයි. මේක චෝදනාවක් නෙවෙයි, පවතින තත්ත්වයට මුහුණ දීම වෙනුවෙන් ප‍්‍රායෝගික වැඩපිළිවෙළක් ඉල්ලා කරනු ලබන ආයාචනයක් විතරයි.

අපි සංගීත ප‍්‍රසංග පවත්වන්න ඉඩ දෙන්න කියලා ඉල්ලලා නෑ. අපි කියන්නේ අඩු තරමේ මසකට විවාහ මංගල උත්සව දෙකක් වෙනුවෙන් දායක වෙලා කලාව පැත්තෙන් කරන කියන දෙයට එකතු වෙන්න අපට ඉඩ ලබා දෙන්න කියලා විතරයි. එතැන දී පනහේ සීමාව දෙසීය දක්වා ගෙන ගියොත් අපට යම් සැනසිල්ලක් ඇතිවෙයි. හැබැයි නියමිත සෞඛ්‍ය

මාර්ගෝපදෙශනයන්ට යටත්ව මේ දේවල් කරන්න අපි බැඳී සිටින බවත් කිව යුතුමයි.

සුජීව තත්සර – https://divaina.com/daily/index.php/visheshanga3/51970-2020-12-17-13-42-22

 170 total views,  2 views today

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments