සිංහල සින­මාව ඔප කළ මීරි­ගම මිහි­රි­යා­විය “පුණ්‍යා හීන්දෙ­ණිය”

ඇය ‘කුරුලු බැද්ද‘ චිත්‍රපටයේ රන්මැණිකා නම් ගැමි තරුණියගේ චරිතය රඟපාමින් හරියටම මීට වසර 60 කට එපිට දීය. “අරුණ උදයේ පිපෙන මල සේ“ගීතය පසුබිමින් ගැයෙන විට පිටිසර ගමත් මගේ ආදරණීය දෙමාපියන් හා මිය ගිය සොහොයුරියන් හා සහෝදරයා සිහිවී නෙතට කඳුළක් එනවා. අද තාවකාලිකව හෝ මවු බිමෙන් ඈත්ව මා ජීවත් වන්නේ එංගලන්තයේ හාර්ට්ෆර්ඩ්ෂයර් නමැති විචිත්‍ර ගම්මානයේ නිසංසල පරිසරයක.“අපේ විශිෂ්ට සම්මානනීය රංගවේදිනියක වූ පුණ්‍යා හීන්දෙනිය නානායක්කාර අපට දුරකතනයෙන් කතා කොට කීවාය.

සිංහල සිනමාවේ මංසලකුණු සනිටුහන් කළ කුරුලු බැද්ද (රන්මැණිකා) – සිකුරු තරුව (අනුලා) – ගම්පෙරළිය (නන්දා) පරසතුමල් (කමලා) හා රන්සළු (සුජාතා) යන චිත්‍රපට රඟ පෑ අද්විතීය නිළියම පවසන්නී “සිහිනෙන් මගේ රටේ සෑම රැයක්ම නිදියන“ බව ය.

පුණ්‍යා එංගලන්තයේ කාන්සියෙන් සිටි මීට ටික කලකට පෙර සිංහල හා ඉංග්‍රීසි භාෂාවෙන් ලියූ කෙටිකතා පොත වූ ‘බ්‍රින්දා“ තම තාත්තාටත් අම්මාටත් සදාදරයෙන් පිළිගැන්වූවාය.

එංගලන්තයේ නිසංසල පරිසරයේ වසන්තය උදාවෙත්ම, රෝස කුසුමින් ද, ගෙට නැමුණු පොප්ලර් ගස්වල, සුළඟේ දඟලන කොළවල සිලි සිලියෙන් ද, නිල් කොළයෙන් හා පලුපල්ලවයන්ගෙන් බහුල හරිත වර්ණ අවට දර්ශනය ප්‍රබෝධවත් කරමින් සියොතුන් නගන කන්කලු ගී සරණියට, කවුළුව විවරකර භාවනායෝගීව සවන් දී සිටීම පුණ්‍යා ගේ එක් විනෝදාංශයකි. මේ පරිසරය තුළ ඇය කලකට ඉහත ලියා මුද්‍රණය කළ ‘බ්‍රින්දා‘ කෙටිකතා සංග්‍රහය ලිවීමේ දී තමාට “සිංහල – ඉංග්‍රීසි“ ශබ්ද කෝෂයක් නොතිබීම ඉමහත් පාඩුවක් බව ඇය කියන්නීය.

“මේ පොත ලිවීමේදී පරිගණක යන්ත්‍ර පහසුකමේ සිට කහට කෝප්පය, හකුරු කෑල්ල පවා ළඟට සපයා දෙමින් මා ධෛර්ය කළේ මගේ ආදරණීය සැමියා මිල්රෝයි.“ පුණ්‍යා කීවා ය.

පුණ්‍යා දක්ෂ ලෙස ගී ගායනා කිරීමටත්, නර්තනයටත් දක්ෂ ගැමි ලියකි. එහෙත් මේ කලාවන් දෙකටම වඩා ඇය දක්ෂතා දැක්වූයේ රඟපෑමට ය. ඇය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ “ගම්පෙරළිය“ චිත්‍රපටයේ රඟ පෑ නන්දාගේ චරිත නිරූපණය ගැන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සයිරස් ඩබ්ලිව්. සුරේන්ද්‍ර “රිවිරැස“ පුවත්පතට ලියා තිබුණේ මෙසේ ය.

“පෙරදිග හොඳම නිළිය කවුදැයි මම නොදනිමි. ඒ කවුරු වුවත් අපේ පුණ්‍යාට ඇය හා තරග කොට ජය ලැබිය හැකිය.“ කියාය.

1938 ජූලි 31 වෙනිදා පුණ්‍යා හීන්දෙනිය මීරිගම දී උපත ලැබුවාය. ඇය කුඩා කළ ජීවත් වූ මීරිගම මහගෙදර ඉදිරිපිට තාප්පයකින් වෙන්ව තිබුණේ අද ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහනායක හිමියන් වහන්සේ වැඩ සිටි පිරිවෙනය. එකල විහාරාධිපතිව වැඩ සිටි අපවත් වී වදාළ මේධංකර නායක හිමියන් පුණ්‍යාගේ පියාගේ සමීප ඥාතිවරයෙකි. ඇය මුලින්ම ඉගෙනීම ලැබුවේ මීරිගම ප්‍රාථමික විද්‍යාලයේය. එය අද ඩඩ්ලි සේනානායක විද්‍යාලයයි. ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබීමට ඇය හයවැනි ප්‍රමාණයෙන් පසු මිරීගම මහා විද්‍යාලයට ගියා ය.

පුණ්‍යාගේ පියා එම්. ඒ. හීන්දෙනිය මීරිගම ඉඩම් හිමි වැවිලිකරුවෙකි. මව වූ ඩී. එල්. කහවිටගේ ගම පානදුර ය. සහෝදර සහෝදරියන් හත් දෙනෙකුගෙන් යුත් දරු පවුලක පස්වැන්නා පුණ්‍යා ය.

පුණ්‍යාගේ ලොකු අක්කා දයා ජීවතුන් අතර නැත. දෙවැනි අක්කා ශීලා වයස අවුරුදු 90 පසු කරමින් මහරගම පදිංචිව සිටින්නීය. රම්‍යා නම් තුන්වන අක්කා ජීවතුන් අතර නැත. ඇය මාධ්‍යවේදි හා ලේඛක පුෂ්පකර වන්නිආරචිගේ හා ටෙලි නාට්‍ය සංස්කරණ ශිල්පී සමීර වන්නිආරචිගේ මව ය. පුණ්‍යා ගේ වැඩිමහල් අයියා වීරවර්ධන පවුලේ කලාවට සම්බන්ධ එකම සහෝදරයා. සංගීත උපදේශකයකුව සිටි ඔහු ජීවිතයෙන් සමුගෙනය. බාල සහෝදරයකු වූ අමර මහජන සම්බන්ධතා නිලධරයෙකු ලෙස සේවය කොට විශ්‍රාම ගෙන ඇත. විදුලි ඉංජිනේරුවකු වූ පුණ්‍යාගේ බාල සොහොයුරා කරුණසිංහ ය. මිය ගිය රම්‍යා අක්කා පුණ්‍යාගේ මව ලෙස “කුරලු බැද්ද“ චිත්‍රපටයේ රඟපා ඇත.

තමා වයස අවුරුදු 10 දී පමණ සිට කලාවට ඇලුම් කළ බව පුණ්‍යා අපට කීවාය.

“මීරිගම මහා විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලේ සිට මම නැටුම් පන්තියේ කැපී පෙනුණ ශිෂ්‍යාවක්. අපේ නැටුම් ගුරුවරයා වූයේ ජගත් කීර්තියට පත් නර්තන ශිල්පී එස්. පණීභාරත ගුරුතුමා. එතුමා පාසලේ වේදිකාගත කළ “දිට්ඨි මංගලිකා“ මුද්‍රා නාට්‍යයේ මට ප්‍රධාන චරිතය රඟපෑමට ලැබුණා. අපි පාසලේ සංගීතය ඉගෙන ගත්තේ ඇස්. ඩී. ඩේවිඩ් අප්පුහාමි මහතාගෙන්. එතුමා සංගීත අධ්‍යක්ෂ එඩ්වින් සමරදිවාකාර මහතාගේ ශිෂ්‍යයෙක්. පසුව ඩේවිඩ් මහතා භාත්ඛණ්ඩේ සංගීත විද්‍යාලයේ ඉගෙන එහි කථිකාචාර්ය ධුරයක් දැරුවා.

මා තුළ කලාව ස්ථාපනය කළ පණිභාරත හා ඩේවිඩ් යන විශිෂ්ට කලාකරුවන්ගෙන් ලැබුණු පන්නරය ලැබීමට පිටුපසින් සිට අනුබල දුන්නේ විද්‍යාලයාධි කේ. ඒ. පඤ්ඤාරත්න මහතායි. මා කලාවට මෙන්ම ක්‍රීඩාවටත් දස්කම් පෑවා. නෙට් බෝල් කණ්ඩායමේ නායිකාව මම. සිරිසේන විමලවීර මාස්ටර්ගේ “අසෝකා“ චිත්‍රපටයේ නැටුම් දර්ශනයක් කිරීමට පණිභාරත මහතාට පැවරුවා. මටත් ඒ නැටුම් දර්ශනයේ රඟපෑමට අවස්ථාව ලැබුණා. නැටුම රූපගත වී අවසන් කළ පසු පණිභාරත මහතා විමලවීර මාස්ටර්ට මාව හඳුන්වා දී, “මේ ළමයාට හොඳට රඟපාන්න පුළුවන් මාස්ටර්“ කිව්වම විමලවීර මාස්ටර් මා දෙස හොඳට බලා සිට සිනමාවට සුදුසු නෑ කියලා කිව්වා.

මගේ කැමතිම නවකතාකරුවා ඩබ්ලිව්. ඒ. සිල්වා මහතා. එතුමා ලියූ “දෙයියන්ගේ රටේ“ නවකතාව සිනමාවට නැගීමට සූදානම් වෙමින් සිටියා. ඒ නවකතාවේ ප්‍රධාන චරිතය වූ කැතරින්ට මම කැමැත්තෙන් හිටියෙ. මගේ ඥාතියෙකුගේ උනන්දු කිරීමට ඒ චිත්‍රපටයේ නිෂ්පාදක නීතිඥ සෝමරත්න හමුවීමට අපි කොළඹ ආමර් වීදියේ පාර අයිනේ පිහිටි ජේතවනාරාම විහාරස්ථානය ඉදිරිපස තිබෙන “හෙළදිව ආට්“ සමාගමේ කාර්යාලයට ගියා. මා දුටු නිෂ්පාදක මහතා චිත්‍රපටයේ අධ්‍යක්ෂ ද්‍රවිඩ ජාතික රාමචන්ද්‍රන් “මෙන්න මම හෙව්ව කැතරින්“ කියලා.

“මම මෙලොව දුටුවේ මීරිගමින්. සිනමාවෙන් මා මෙලොව දුටුවේ දෙයියන්ගේ රටෙන්“ පුණ්‍යා අතීත කථාව අපට විස්තර කළාය.

“දෙයියන්ගේ රටේ“ චිත්‍රපටයේ දී ගැමි ලක්ෂණ හා අධි තාත්වික රංගනයෙන් පුණ්‍යා මුදා ගත්තේ එහි ප්‍රධාන චරිතය රඟ පෑ සේනාධීර කුරුප්පු හා තිර නාටකය ලියූ ධර්ම ශ්‍රී කල්දේරා. මේ චිත්‍රපටයේ මූලික දර්ශන ගත්තේ සමන් දෙවි අඩිවියේ ය. මේ පිළිබඳව පුණ්‍යාට කීමට අත්දැකීම් කිහිපයක් වෙයි.

“කරුණාවේ මහිමයට තෝතැන්නක් වූ සිරිපා කඳුවැටියේ සිසිල් සුවය මට ආශිර්වාදයක් ම වුණා. දහ දොළොස් වරක් බුදු පදලස කරා නගිමින්, බසිමින්, එහි බැති පිදුමෙන් ගැවසුනා. මේ චිත්‍රපටයේ කැමරාගත කිරීමට පින් සිද්ධ වෙන්න මම සිරිපාදේ මහගිරිදඹ දොළොස් වරක් නැග්ගා. මස්කෙළියේ කඩ මණ්ඩියේ සිට මහගිරි දඹය තෙක් පාන්දර ගමන් අරඹා සවස පහතට බසින්නේ දැඩි මහන්සියෙන්. හැබැයි සීත ගඟුලෙන් වතුර නා ගත්තු ගමන් ඒ විඩාව අතුරුදහන් වෙනවා.“

පුණ්‍යාට “දෙයියන්ගේ රටේ“ චිත්‍රපටයේ රඟපෑමට ලැබී ඇත්තේ රුපියල් 1500 කි. 1956 වසරේ වටිනාකමක් තිබූ නිසා ඇය ලැබූ දෙයින් තෘප්තිමත් වී ඇත.

“චිත්‍රපටයේ හැටියට කැතරින් ගේ චරිතය රඟපාන මම තරුණයන් දෙදෙනෙකුට ආදරය කරනවා. මුලදී ඇය ටියුඩර්ට (සේනාධීර කුරුප්පු) ආදරය කරනවා. ඔහු උගත් එහෙත් දිළිඳු තරුණයෙක්. මවගේ ආශිර්වාදය ඇතිව ටියුඩර්ට ආදරය කරන කැතරින් අලුත පොහොසත් වූ ගුණපාල (එඩ්වඩ් සේනාරත්න) නම් දුදන චරිතක් සහිත තරුණයෙකුට බහ දෙන්නේ ද මවගේ බලවත් පෙරැත්තය නිසා ය. මේ සිද්ධියට මා මුහුණ පෑවේ හැඬූ කඳුළෙන්. සිරිපා වඳින්ට ගොස් අතරමං වන කැතරින් තනිව කැලෑවක ඇවිදින විට පරණ පෙම්වතා ටියුඩර් හමුවෙනවා. පසුව කැතරින් සොයා ගුණපාලත් එනවා. සර්පයකුගේ දළ පහරකින් පෙම්වතුන් දෙදෙනා අවසන් හුස්ම හෙළද්දී පෙම් සටනින් පැරදුණු කැතරින් එතැන් සිට මරු විකලින් පසුවන්නේ. සර්පයා කැතරින් ගේ අත්ල මත දිග හැරී ඇයගේ මුහුණට හිස ඔසවා බලනවා. මේ විෂඝෝර සර්පයා හද මැදට ගෙන කැතරින් තුරුල් කර ගන්නවා. මේ චිත්‍රපටයේ අවසාන භයානක ජවනිකාව මම රඟපෑවේ සර්පයාගේ බියත් පිළිකුලත් සහිත රඟ පෑ මරු විකල් චරිතය හිතින් මවා ගෙන.“ පුණ්‍යා කීවා ය.

“දෙයියන්ගේ රටේ“ චිත්‍රපටයෙන් පසු “ශ්‍රී 296“ හා “සුනීතා“ චිත්‍රපටවල රඟපෑමට සහභාගිව ඇත්තේ ඉන්දියාව දැක බලා ගන්නා අදහසිනි. චිත්‍රපට දෙකටම පුණ්‍යාට ලැබී ඇත්තේ රු. 3,500 කි. ඒ චිත්‍රපට චරිත ස්වභාවිකත්වයෙන් ඈත ඒවා ය.

“මගේ ජීවිතයේ ලස්සන දවස මාව “කුරුලු බැද්ද“ චිත්‍රපටයට තෝරා ගත් දිනයයි. පාසල් යන කාලයේ ගුවන් විදුලියේ ග්‍රාම්‍ය සේවාවෙන් කොටස් වශයෙන් ප්‍රචාරය වූ “කුරුලු බැද්ද“ ගුවන් විදුලි නාට්‍ය ආසාවෙන් සවන් දුන් මම ඒ ඇසුරෙන් චිත්‍රපටයක් හදන්න යන බව පුවත්පතකින් දැන ගත්තා. චිත්‍රපටයට සම්බන්ධ කතා රචකයා හග්ගල්ලේ පී. කේ. ඩී. සෙනෙවිරත්න අපේ ගමේ හිටිය ප්‍රසිද්ධ කවියෙක්. තාත්තාගේ පැත්තෙන් නෑකමකුත් තිබුණා. චිත්‍රපටයේ නිෂ්පාදකවරයාත් අපේ ගමේ මීරිගම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහත්තයා. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වූ රන්මැණිකා ලෙස මාව තෝරා ගැනීම ම මගේ චිත්‍රපට නිළි ජීවිතයේ සිහිනයක මල් පිපීමක් වැනි ය. නිර්ව්‍යාජ ගැමි ජීවිතය සිනමාවෙන් මතු කිරීමට කතා රචක සෙනෙවිරත්න හා ප්‍රධාන චරිතයක් වූ කයිතන් ලෙස රඟ පෑ ඩී. ආර්. නානායක්කාර ගේ උපදෙස් මට මේ චරිතය රඟපාන්න බෙහෙවින් උපකාර වුණා.

චිත්‍රපටයේ පොල් අතු වියන දර්ශනයේ එය හරි හැටි කරන හැටි මට කියා දුන්නේ අමරතුංග මහත්තයා. එතුමා වලව්කාරයකු වුවද නිර්ව්‍යාජ ගැමියෙක්; නිහතමානි කෙනෙක්. මේ චිත්‍රපටයේ මම ප්‍රථම ප්‍රේමයෙන් පරාදවන පෙම්වතියක්. මට ආදරය කළේ බණ්ඩාර මහත්තයා නම් වලව්කාර තරුණයෙක්. මේ චරිතය රඟ පෑවේ පසුව දක්ෂ නාට්‍යකරුවකු වූ දයානන්ද ගුණවර්ධන. දෙමාපියන්ට කීකරු වී ඈත ගමක තරුණයකු හා ඔහුගේ ගමට කරත්ත වලින් දීග යද්දී පසුබිමින් ධර්මදාස වල්පොල ගැයූ වත්තේ වැටුණු පොල් අතු ටික නවම් මහේ … යන කවි පෙළ ඇසෙන විට ඒ දසුන තිරයේ දුටු ප්‍රේක්ෂකයන්ට වගේම මටත් ඇඬුණා. “පුණ්‍යා පවසන්නීය.

පුණ්‍යා කැමතිම තවත් දර්ශනයක් ලෙස දැක්වූයේ තම සැමියා (රංජිත් දයානන්ද) සමඟ ඔහුගේ ගමේ නිවසේ එළිමහනේ ලණු අඹරන අවස්ථාව ය. ලණු අඹරන්නත් ඔවුන්ට කියා දී ඇත්තේ අමරතුංග ය.

කුරුලු බැද්ද චිත්‍රපටයෙන් පසු අමරතුංග සිකුරු තරුව නමින් තවත් චිත්‍රපටයක් ආරම්භ කොට පුණ්‍යා ප්‍රධාන චරිතයට තෝරා ගත්තේ ය. ගමේ පාසලේ ප්‍රධානාචාරිනිය ගේ සුවච කීකරු දක්ෂම ශිෂ්‍යාවක් වූ අනුලා කෙරෙහි ගමේ උගත් තරුණයකු වූ තිලක්ගේ (ෂෙල්ටන් සිල්වා) සිත යොමුවෙයි. ඔහු ප්‍රධානාචාරිනියගේ පුතා ය. මේ අතර පාසලේ තරුණ ගුරුවරයකු (නෙල්සන් කරුණාගම) ද අනුලා බලාපොරොත්තුවෙන් සිටී. මේ තරුණයන්ගේ ආදරය අතර දෝලනය වන අනුලා ගේ සිත වඩාත් යොමු වන්නේ උගත්, නිහතමානි තිලක් වෙතය. එය මානසික ප්‍රශ්නයකට මැදිවූ තරුණියක් ලෙස රඟපෑමෙන් ඇය තෘප්තිමත් වූවාය. සිකුරු තරුවේ රූ ගැන්වෙන අතර එහි නිෂ්පාදක අමරතුංග දිනක් පුණ්‍යා සොයා ආවේ ය.

“පුණ්‍යා, හොඳ ආරංචියක් කියන්න මම තකහනියේ ආවේ. පුණ්‍යාව, ‘ගම්පෙරළියේ‘ නන්දා හැටියට මිස්ටර් ලෙස්ටර් තෝරාගෙනලු. මගෙන් ඔයා ගැන තොරතුරු ඇහැව්වා.“

මෙය පුණ්‍යා අසන්නට පෙරුම් පිරූ ආරංචියකි.

“සිකුරු තරුවේ මා හා රඟ පෑ නළුවන් අතරින් මගේ පුංචි යාළුවා මගේ මල්ලී ලෙස රඟ පෑ සරත් ප්‍රේමතිලකයි. එවකට සරත් ආනන්දේ ඉගෙන ගත් අතර ඔහුගේ පියා වූයේ කීර්තිමත් කවියකු වූ එවකට “සිළුමිණ“ පත්‍රයේ ප්‍රධාන කර්තෘ මීමන ප්‍රේමතිලකගේ පුතෙක්. (සරත් “ක්‍රීඩා“ පත්‍රයේ කර්තෘ ලෙස කටයුතු කළා. සරත් හා මම රඟපාද්දි මට දැනුනේ ‘මේ මගේ ඇත්තම මල්ලී කියලා.‘සරත් මම නිකං ඉන්න වෙලාවට මට කවටකම් කළා. මට ගැහැව්වා. බැන්නා. මාව කොනිත්තලා දිව්වා. මාත් අතහැරියේ නැහැ. තරගෙට දිව්වා. ඔහු කරපු නපුරුකම් වලට මාත් නිකං හිටියේ නැහැ. මගෙන් හොඳට ප්‍රතිචාර ලැබුණා. අපි චිත්‍රපටයේදී වගේම ගස්වලට පොලු ගසා සියඹලා කැඩුවා. වැටුණු සියඹලාවට පොර කෑවා. චිත්‍රපටයට මේවා ඇතුළත් වූ දර්ශන ගැනීමේ දී තාත්විකව අපිට රඟපෑමට පුළුවන් වුණා.“පුණ්‍යා පරණ සිදුවීමක් මතක් කළාය.

“ගම්පෙරළිය“ චිත්‍රපටයේ රඟපෑමට ලැබීමට සිනමා විශ්ව විද්‍යාලයකට ගියා වැනියයි පුණ්‍යා කියන්නීය. වරක් බලපිටියේ මහ කප්පින වලව්වේ රූ ගත කරන විට මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ , මැතිනියත් ආහ. එතකොට පුණ්‍යා සිටියේ නෙරිය දාපු ඔසරියක් ඇඳ ගෙන ඊළඟ දර්ශනයට මුහුණ දීමට ය.

“පුණ්‍යා ඔය විදිහට නෙවෙයි දකුණේ අය ඔසරිය අඳින්නේ. රැල්ල දාලා ගුලි කරලා මෙන්න මෙහෙමයි“ කියලා වික්‍රමසිංහ කියන විට මැතිනිය සිනා සී බලා සිටියා ය.

“පුණ්‍යා, මට යන්න ඉස්සර ගෙදර ඇඩ්රස් එක ඕනෑ.“

“ඇයි, වික්‍රමසිංහ මහත්තයා මට පෙම්පතක් එවන්නද?“ පුණ්‍යා මේ වයෝවෘද්ධ ලේඛකයාට ගෞරව සහිතව ඇසුවාය.

සිංහල අවුරුද්දට රූ ගත කිරීම් කර පුණ්‍යා ගෙදර යනවිට මාර්ටින් වික්‍රමසිංහගෙන් තැපැල් පාර්සලයක් ලැබී තිබුණි. එය වික්‍රමසිංහ විසින් ලියූ ඔහුගේ අත්සන සහිත පොත් පාර්සලයකි. පුණ්‍යාට නම් මෙය මහ මෙරටත් වඩා උස තෑග්ගකි.

පුණ්‍යා සම්මානනීය නිළියක් වූ ‘ගම්පෙරළියෙන්‘ පසු රන්සළු, රන්වන් කරල් , පරසතු මල්, කලියුගය චිත්‍රපටවල රඟ පෑවාය. මේ අතර ‘චණ්ඩියා‘ හා “සීතල වතුර‘ චිත්‍රපටවල රඟපෑම ප්‍රතික්ෂේප කර තිබුණා ය.

පුණ්‍යාට මලු ගණන් රසිකයන්ගෙන් පෙම් හසුන් ගලා එන කාලයක් තිබුණාය. ඇය ඒ ගැන එකල සරසවිය පුවත්පතට මෙසේ පවසා තිබුණා ය.

“පාසල් වියේ දී මම කිසි විටෙක ප්‍රේමය හෝ විවාහය ගැන නොසිතුවෙමි. මගේ සහෝදර නිළි සෝබනී අමරසිංහ වරක් කීවා මෙන් පාසල් වියේ දී ප්‍රේමය හෝ විවාහය ගැන සිතුම් පැතුම් ඇති කර ගැනීම ඉගෙනීම් කටයුතුවලට බාධාවකි. මේ නිසා මම විවාහය ගැන සිතිමට කල් ගත කළෙමි.“

“මොකක්ද ළමයෝ මේකෙ තේරුම? මොකට හරි කැමති වෙන්න එපා යැ. ඔහොම ඉඳල පුළුවන් ද?“ අම්මා නිතර කීවාය.

පුණ්‍යා අපට කී පරිදි ඒ කාලයේ ඇයට විවාහ යෝජනා කොට ලිපි ගොන්නක් ලැබී ඇත. ඒ අතර තිබූ එක් විශේෂ ලිපියක් විය එය ලියා තිබුණේ ඉංග්‍රීසියෙනි

“ගාල්ලේ මහින්ද විද්‍යාලයේ ඉගෙනුම ලබා වෛද්‍ය විද්‍යාලයට ගොස් වෛද්‍යවරයෙකු වූ මම ගාල්ලේ එලියට් පාරේ පදිංචිව සිටිමි. දැනට මොනරාගල රෝහලේ දිස්ත්‍රික් වෛද්‍යවරයා මම වෙමි. මම ඔබ හමු වී කතා කිරීමට කැමතිය.“

තරුණ වෛද්‍යවරයා මීරිගම පුණ්‍යාගේ නිවසට පැමිණි දින එකල ජනප්‍රියව තිබූ “ඔරේජ් බාර්ලි“ සිසිල් බීමෙන් සංග්‍රහ ලබා තමා පුණ්‍යා හා විවාහ වීමට කැමති බව කීවේය.

“අද ආවේ අපේ අනාගත බෑණා.“ මව තම පියාට කියනු ඇසූ පුණ්‍යා ගොළුවත රැක්කේ ඇය තුළ ද තරුණයා ගැන ඇති කැමැත්ත නිසා ද?

පුණ්‍යාගේ අත ගැනීමට සමත් වූ තරුණ වෛද්‍යවරයා මිල්රෝයි නානායක්කාර ය. ඔහු ‘රන්සළු‘චිත්‍රපටය වැඩි වාර ගණනක් බැලූ පුණ්‍යාගේ රසිකයෙකි.

‘රන්සළු‘චිත්‍රපටයෙන් පසු මිල්රෝයි හා විවාහ වූ පුණ්‍යා සිනමාවෙන් ඉවත් වී එංගලන්තයේ පදිංචියට ගියාය. ඔවුනට පුතෙකු හා දියණියක සිටී. පුතා අනුපම නානායක්කාර විශේෂඥ වෛද්‍යවරයෙකි. අනුපම කුඩා කාලයේ පුණ්‍යා ලෙස්ටර් සුමිත්‍රා යුවළගේ ඇරයුමින් 1982 දී ලංකාවට පැමිණ “කලියුගය“ චිත්‍රපටයේ රඟපාන විට ඇගෙත්, පියල්ගේත් (හෙන්රි ජයසේන) පුතා ලෙස රඟ පෑවේය. දියණිය පූර්ණමී වෛද්‍යවරියකි.

 251 total views,  2 views today

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments