ජූලි 30 වැනිදාට සියලු පොලිස් OIC ලා ඇගයීමක්..! අඬාගෙන එන්න එපා!… එක්ව ගමනක් යමු…! -ඇමැති ටිරාන් කියයි

දීප ව්‍යාප්ත පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ සම්මන්ත්‍රණය පසුගිය දා සුහුරු පාය ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත් වූ අතර එහි දී මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා මාර්ග ගත ක්‍රමයට සියලු පොලිස් ස්ථානාධිපතිවරුන් ඇමතුවේ ය.

ඇමැතිවරයා කියා සිටියේ තමා බාර ගත් පසු මෙම මාස 8 ක කාලයේ දී පොලිස් සේවය වෙනුවෙන් වූ අඩුපාඩු රැසක් සකසා ගරුත්වය ආරක්ෂා කර දුන් බවත් එළඹෙන ජුලි 30 වැනිදා වන විට සියලු දෙනා ඇගැයීමක් කරන බවත් ය. ඒ මෙලෙසින්…

“අදින් පස්සේ මට මොනව හරි ආවොත් එහෙම ඊට පස්සේ අඬාගෙන එන්න එපා. ඒ මොකෝ මම හැම එකම චෙක් කරනවා.කොයි පොලිසියද, කොයි ඒරියා එකේද,හැම එකම චෙක් කරනවා මං.ඉතිං එහෙම කරලා අපි ඔක්කොම එකතු වුණොත් අපිට මීට වඩා හොඳ පොලීසියක් රටට පෙන්නන්න පුළුවන්.දැන් සමහරවිට මෙහෙම කරන්නෙ නැති අයට ලැජ්ජත් ඇති.ඕගොල්ලන්ටම ඇහෙනවා ඇතිනේ සමහර මිනිස්සු කියනවා “වැඩිම හොරු ඉන්න පොලිසියේ පගා ගහන්නේ පොලිසිය ” එහෙමනේ කියන්නේ මිනිස්සු.

ඉතිං අපි ඒක නැති කරගන්න ඕනෙ. ඔය අනිත් එක තමයි අපි ඔය ඉස්සෙල්ලා මං කිව්වා වගේ අපි එකා වගේ ඉන්න ඕනේ.එක්කෙනාට එක්කෙනා කප කප ගොඩක් පොලිසියේ මං දකින ඒවා මම මේ කියන්නේ.එක්කෙනාට එක්කෙනෙක් නෑ.අරයව කපලා මම උඩට එන්න කොහොමද.අන්න ඕවා තමයි වැඩ කරන්නෙ ඔළුවේ.

ඉතිං ඒවා නවත්තන්න.ඔක්කොම එකට වැඩ කරන්න.ඔය අනිත් එක පොලිසියේ අය හැසිරෙන විදිහෙන්ම තමයි මහජනයාගේ ගෞරවය ලැබෙන්නේ.ඉතින් ඒ විදිහට හැසිරෙන්න.අපි දැන් මේ කියපු ටික හොඳට හිතට අරගෙන අපි අද ඉඳන් සියලු දෙනාම එකතුවෙලා, මම ඕනේ වෙලාවක ඉන්නවා ඕනම නිලධාරියෙකුට  කතා කරන්න පුළුවන් මගේ ටෙලිෆෝන් එකට හැම එක්කෙනාම කතා කරනවා.

මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් මට වුණත් කෙළින්ම කතා කරන්න. පොලිස්පති තුමා ඉන්නවා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු ඉන්නවා. අපි එක ප්ලෑන් එකකට අද ඉඳලා යන්. මම ජූලි තිස් වෙනිදා වෙනකොට මම ඔක්කොම ඕඅයිසී ලගේ අලුතින් ඇගයීමක් කරනවා මාස හයක් තියෙනවා. මම මේ මාස හය හැම පොලිසියේම වෙන ඒවා බලලා ඇගයීමක් කරනවා. ඒ ඇගයීම වෙද්දි මට හොඳ රිපෝට් එකක් ආවෙ නැත්නම් මම ඒ ඕඅයිසී ව තියන් නෑ එතන. මං එතකොට හිතා ගන්නේ මෙතුමාට ඕඅයිසී කමක් කරන්න බෑ. ඉතිං ඒ තීරණය ගන්නවා.

ඉතිං මං අද කියන්නේ ඒකයි. ජූලි 30 වෙනකොට ඇගයීමක් කරනවා සියලුම ඕඅයිසී ලා. එහෙම කරලා තීරණයක් ගන්න වෙනවා තමන්ගේ වැඩ ගැන.ඉතින් මං අවසාන වශයෙන් වැඩිය කතා කරන්නේ නෑ.මං හිතන්නේ මං ඔක්කොම කියන්න තියෙන ටිකයි,අපි පොලිස් නිලධාරීන්ට කරපු ටික මේ මාස අටේ .දැන් අපි පොලිස් නිලධාරීන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියන එක මං හිතන්නේ මං තේරුම් කරලා දුන්නා.

මේ සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක, පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා, රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේශ් සලේ මහතා සහ පොලිස් ස්ථානාධිපතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන් 509 දෙනෙක් සහාභාගි වූහ.

මේ සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ ස්ථාන 250 කදී පොලිස් ස්ථානාධිපතිවරුන් හා රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ වී තිබේ.

Leave A Reply

Send this to a friend