IMF ආදායම 45000/- දක්වා අයගේ බදු කපන්න කිව්වා… ලක්ෂයේ සීමාවට ගත්තේ ඉතා අමාරුවෙන්… විකල්පයක් නෑ… රට සති දෙකකට වඩා පවත්වන්න බෑ…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුම් දුන්නේ මෙරට රුපියල් 45,000/- ට වැඩි මාසික ආදායමක් ලබන සියලු දෙනාගෙන් ආදායම් බද්දක් අය කරන ලෙස බවත් පසුව එය ඉතා අසීරුවෙන් වෙනස් කර ගත් බවත් ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවේ දී ඒ මහතා මෙම අදහස් පළ කළ අතර දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් පසු එම මුදල රුපියල් ලක්ෂයක (100,000/-) සීමාවට ගත් බවයි ඇමැතිවරයා පවසන්නේ.

ජනවාරි මාසයේ වැටුප් නිකුත් වීමත් සමග බදු කපා ඇති බැවින් මේ පිළිබඳ බෝහෝ පාර්ශ්ව දැඩි අප්‍රසාදය පළ කර සිටින්නේ ණය හා අනිකුත් වියදම් සමග විශාල බදු මුදලක් කැපුණු පසු ජීවත් වීමට නොහිකි බව පවසමිනි.

කෙසේ වෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙම කොන්දේසි නොපිළිපදින්නේ නම් රට පවත්වා ගත නොහැකි බව ඇමැතිවරයා පවසා සිටියේ මෙලෙසින්…

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එම සාකච්ඡාවල දී ලංකාවට කියලා තියෙන්නේ, රුපියල් 45,000/- ට වඩා වැඩි මාසික ආදායමක් ලබන සියලු දෙනාගෙන් බදු වශයෙන් අය කරන්න ඕන කියලා. දීර්ඝ ලෙස සාකච්ඡා කරලා මේක කොහොමත් ම කරන්න බෑ කියලා එහෙම කරලා තමයි ලක්ෂය දක්වා බද්දෙන් නිදහස් කරලා ලබා ගෙන තිබෙන්නේ. අපිට මේ බදු අඩුකරලා බදු වෙනස් කළොත් අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මේ මුදල ලබාගන්න බැරිවෙනවා. මේ ගිවිසුම නැතිවෙනවා.”

“එහෙම වුනොත් අපේ රට සති දෙකකට වඩා පවත්වාගෙන යන්න පුළුවන් ක්‍රමය කවුරුහරි කියන්න පුළුවන් නම්. අපි ඒ එකකට කන්දෙන්න සූදානම්. මොකද හේතුව රටට අවශ්‍ය ඛනිජ තෙල්, පොහොර, රසායනික ද්‍රව්‍ය බෙහෙත්, යන්ත්‍ර සූත්‍ර අමුද්‍රව්‍ය අපි ගෙන්වන්න ඕන. ඉතින් මේවා පිටරටින් ආනයනය කරන්න නම් ආනයන හැකියාවක් තියෙන්න ඕන. ඒකට ප්‍රමාණවත් සංචිතයක් තියෙන්න ඕන. ඒ සඳහා ලෝකයේ පිළිගත්ත සූත්‍රයක් තියෙනවා.”

“දළ විදේශ වත්කම්වල ආනයන ශක්‍යතාවය. දළ විදේශ වත්කම්වලින් මාස කිහිපයක ආනයන වියදම් පුරවගන්න පුළුවන් ද කියලා දර්ශකයක් තියෙනවා. එතකොට අඩුගානේ මාස තුනකවත් ආනයන වියදම් පියවා ගන්න හැකියාවක් විදේශ වත්කම් පැත්තෙන් තියෙන්න ඕන. අපිට ඒ හැකියාව දැන් නෑ. ඒ නිසා තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මැදිහත් වෙලා තියෙන්නේ ව්‍යුහගත ගැලපුමක් සිද්ධකිරීම සඳහා. “

“ඉතින් ඒ සිද්ධකරනකොට අපිට නියමයන් කිහිපයක් පනවලා තියෙනවා. අනාගත කාලයේදී ණය ගෙවීමේ ශක්තිය ඇතිවෙලා ආර්ථිකය නියම පීල්ලට ගන්න නම් මේ මේ දේවල් කරන්න ඕන කියලා, අපි අසාධ්‍ය තත්ත්වයේ මරණාසන්න තත්ත්වයේ ඉන්න පුද්ගලයෙක් නම් එතකොට සමහර එන්නත් දෙනවා අපිට දරාගෙන ඉන්න බෑ. එය දරාගෙන ඉන්න බැරිවුණත් අනාගත ජීවිත පැවැත්ම සඳහා එය දරාගෙන ඉන්න සිද්ධවෙනවා, එවැනි තත්ත්වයකට තමයි මේ ආර්ථික දේහය ඔත්පල වෙලා මරණාසන්න වෙලා ගොඩයන්න බැරි තත්ත්වයෙන් තියෙන්නේ.

“ඉතින් මේ තිත්ත බෙහෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගිල්ලුවා කියලා නොගිල ඉන්න බෑ. මොකද වෙන විකල්පයක් අපිට නැති නිසා”

Leave A Reply

Send this to a friend