තර්ස්ටන් සිසුන් දරුණු අනතුරකින් බේරෙයි… 41කට තුවාලයි… එහෙත් අනතුරෙන් 07ක් මරුට බිලි වේ… (වීඩියෝ)

කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් පිරිසක් රැගත් බස් රථයක්, වෙනත් වෑන් රථයක් සහ ත්‍රිරෝද රථයක් එකට ගැටීමෙන් නානුඔය ප්‍රදේශයේදී අද (20) පස්වරුවේ සිදු වූ දරුණු රිය අනතුරකින් හත් දෙනෙකු මියගොස් තිබේ.

මෙම හදිසි අනතුර හේතුවෙන් පාසල් සිසුන් 41 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව පොලීසිය කියයි.

කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් පිරිසක් නුවරඑළියේ අධ්‍යාපන චාරිකාවක නිරතවී අද පස්වරුවේ ආපසු කොළඹ බලා එමින් සිටියදී අනතුරට ලක්වී තිබුණේ හැටන් නුවරඑළිය මාර්ගයේ රදැල්ල කෙටි මාර්ගය ප්‍රදේශයේදී බව පැවසේ. එහිදී නුවරඑළියේ සිට හැටන් දෙසට ධාවනය වෙමින් තිබු බස් රථය ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි වෑන් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටීම හේතුවෙන් අනතුර සිදු වී තිබේ.

පාසල් සිසුන් රැගත් බස් රථය එලෙස ගැටීමෙන් පසු අඩි 100ක පමණ ප්‍රපාතයකට පෙරළී ගොස් ඇති අතර බස් රථයේ ගැටුණු වෑන් රියේ සිටි 06 දෙනෙකු සහ ත්‍රීරෝද රථයේ රියදුරා එම ස්ථානයේදී ම මියගොස් ඇති අතර වෑන් රථයේ සිටි 05 දෙනකු එකම පවුලේ සාමාජිකයින් බව සඳහන් වේ. ඒ අතර ළමයින් තිදෙනෙකු ද සිට ඇත. .

බස් රථය තුළ තර්ස්ටන් විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ සිසුන් 41දෙනෙක්, ගුරුවරු සහ මව්පියන් ඇතුළු 53 දෙනෙකු සිට ඇති අතර තුවාල ලැබූ ඔවුන් නුවරඑළිය රෝහලට ඇතුළත් කර තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකාය සහ ප්‍රදේශවාසීන් එක්වී තුවාල ලැබූවන් රෝහල්ගත කිරීමට කටයුතු කළ අතර පාසල් සිසුන් කිසිවෙකුටත් බරපතළ තුවාල සිදු වී නැති බව තර්ස්ටන් විද්‍යාලයේ විදුහල්පතිවරයා පවසා සිටී.

අනතුරට ලක්වූ සිසුන්ට කඩිනම් සහන සලසන්නැයි ජනපතිවරයා ද අදාළ අංශවලට උපදෙස් ලබා දී ඇති අතර සිසුන්ට බරපතළ තත්ත්වයක් ඇතිවුවහොත් ඔවුන් කොළඹට රැගෙන ඒම සඳහා ගුවන් පහසුකම් ද කඩිනමින් සලසන ලෙස ජනපතිවරයා ගුවන් හමුදාවට උපදෙස් දී තිබේ.

Leave A Reply

Send this to a friend