ප්‍රවීණ සිනමාවේදිනි ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වෙයි…

කෘතහස්ථ සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ආදරණීය බිරිඳ වූ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා සිනමාවේදිනි ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

අද පෙරවරුවේ (19) ඇය මිය යන විට 88 හැවිරිදි වියේ පසු වූ  අතර සම්මානලාභී ප්‍රවිණ විත්‍රපට අධ්‍යක්ෂිකාවක වූ ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය කොළඹ පෞද්ගලික රෝහලක සිටිය දී මෙසේ අභාවප්‍රාප්ත වී ඇත.

ඇය විසින් අධ්‍යක්ෂණය කරන ලද මහත් ජනාදරයට පාත්‍ර වූ චිත්‍රපටය වනුයේ ‘ගඟ අද්දර’ චිත්‍රපටය වන අතර ගැහැණු ළමයි චිත්‍රපටය ද සුවිශේෂී ජනප්‍රියත්වයක් උසුලමින් ටෙලි නාට්‍යට ද නැගුණේ ය. එදා මෙදා තුර ඇය විසින් අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපට රැසක් වන අතර ඒවා දෙස් විදෙස් සම්මානයට හා ඇගැයුමට පාත්‍ර විය.

1978 දී ඇරඹි ඇගේ සිනමා නිර්මාණ චාරිකාවේ ඇය විසින් අධ්‍යක්ෂණය කරන ලද විශිෂ්ට, කලාත්මක හා සිනමානුරූපී චිත්‍රපට රැසකි. ගැහැනු ළමයි (1978) සිට වෛෂ්ණාවී (2018) දක්වා ඇගේ නම ඉදිරියේ ලියැවී ඇති සිනමා කෘති අතර, ගැහැනු ළමයි, ගඟ අද්දර, සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා වැනි නිර්මාණ විශේෂ වන අතර යහළු යෙහෙළි, මායා, ලොකු දුව, දුවට මවක මිස, සක්මන් මළුව, යහළුවෝ වැනි චිත්‍රපට ද රසික ආදරයට පත් වූ නිර්මාණ වෙයි.

ලන්ඩන් චිත්‍රපට උලෙළ, ටෝකියෝ දකුණු ආසියා හා ජාත්‍යන්තර සිනමා උලෙළ, මොස්කව් ජාත්‍යන්තර සිනමා උලෙළ නියෝජනය කළ සුමිත්‍රාගේ පීරිස් ගේ චිත්‍රපට සම්භාවනාවට පාත්‍ර වී ඇති අතර විශිෂ්ට අධ්‍යක්ෂණය වෙනුවෙන් මෙරට සියලුම ප්‍රමුඛ සම්මාන උලෙළහි දී ඇගේ සිනමා කෘති සම්මාන දිනා ඇත.

ඕ. සී. අයි. සී, සරසවිය, ජනාධිපති සම්මාන දිනූ සුමිත්‍රා පීරිස් ගේ චිත්‍රපට අතර ගැහැනු ළමයි, ගඟ අද්දර, යහළු යෙහෙළි, මායා, සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා, ලොකු දුව, දුවට මවක මිස ආදී නිර්මාණ වේ.

Leave A Reply

Send this to a friend