සේවක අර්ථසාධක අරමුදලත් (EPF) විකිණීමේ සූදානමක්…? වැඩ කරන ජනතාවගේ ඉතිරි කළ සොච්චමට තවත් අවදානමක්…!

2007 දී එවකට පැවති ආණ්ඩුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දී තිබෙන නිර්දේශයක් අනුව යමින් සේවක අර්ථ සාධක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල පෞද්ගලික අංශයේ පාලනයකින් යුතු විශ්‍රාම වැටුප් අරමුදලක් බවට පරිවර්තනය කිරීම කෙරෙහි ජනපති රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ උපදේශකයන් අවධානය යොමුකර ඇති බව අනාවරණය වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මේ වනවිට පැමිණ තිබෙන මූලික එකඟතා කොන්දේසිවල සංවේදී ම කොන්දේසියක් ලෙස මෙම අරමුදල් පුද්ගලිකකරණය කිරීම ද පවතින බව හෙළිවේ.

අර්ථ සාධක අරමුදලේ මුදල් කාර්යක්ෂම ලෙස ආයෝජනය නොකෙරෙන බවට කරුණු දක්වා ඇති අතර එය වඩා කාර්යක්ෂම කිරීම පිළිබඳව ප්‍රචාරය කරමින් පුද්ගලිකකරණය කිරීමට ආණ්ඩුව සූදානම් වේ.

සේවක අර්ථ සාධක අරමුදලේ මුදල් භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කිරීමෙන් අවම ප්‍රතිලාභයක් ලැබෙන බව මේ වන විටත් ප්‍රචාරය කිරීමට පටන් ගෙන ඇත්තේ  මෙබැවින් බවත්, එම මුදල් දැඩි අවදානමක් සහිත කොළඹ කොටස් වෙළඳපොලේ ආයෝජනය කිරීම මෙන්ම මේ වන විට හඳුනා ගෙන ඇති ප්‍රාග්ධනය සම්පාදනය කළ යුතු මූල්‍ය සමාගම් රැසක යෙදවීම කෙරෙහි ආණ්ඩුවේ සැලසුම්කරුවන්ගේ මූලික අවධානය යොමු වී ඇති බවත් වාර්තා වේ.

පසුගිය මහින්ද රාජපක්ෂගේ දෙවැනි පාලන සමය ආරම්භයේ දී ද අර්ථ සාධක අරමුදල දායක විශ්‍රාම වැටුප් අරමුදලක් බවට පරිවර්තනය කිරීමට සැලසුම් සකස් කර තිබූ අතර ඊට එරෙහිව විශේෂයෙන්ම පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන් දැවැන්ත විරෝධතාවක් පැවැත්වීය.

එහි දී කටුනායක නිදහස් වෙළඳ කළාපය තුළ පැවැත්වූ විරෝධතාවයකට පොලිසිය යොදවා වෙඩි තබා රෝෂේන් චානක තරුණයා ඝාතනය කළ අතර තවත් විශාල පිරිසක් වෙඩි වැදීමෙන් තුවාල ලැබීය. එම විරෝධතා නිසා එදා ආණ්ඩුවේ සැලසුම් හකුලා ගැනීමට සිදු වූ බව ද සිහිපත් කළ යුතුය.

Leave A Reply

Send this to a friend