ලාබ ලබන රාජ්‍ය ආයතන විකිණූ තම රාජ්‍ය ද්‍රෝහී ඉතිහාසය ජනපති එළිපිටම කියයි… ජේ.ආර්.,ප්‍රේමදාස යුග මතක් කරයි… පෙරටුගාමීන්ට ඉඩක් දෙන්නෑ… හමුදාව, හදිසි නීතිය දානවා… මං හිට්ලර් වාගේ… (වීඩියෝ)

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අද අයවැය තෙවැනි වර කියවීමට එක් වෙමින් 1977න් පසු බිහි වූ යූ. ඇන්. පී. පාක්ෂික ආණ්ඩු ජේ. ආර්. ජයවර්ධන මහතාගේ විවෘත ආර්ථිකය ඇරඹීමෙන් පසු ලාභ ලබමින් තිබූ රාජ්‍ය ආයතන පුද්ගලික ව්‍යාපාර පැලැන්තියට කුණු කොල්ලයට විකිණූ බව ප්‍රසිද්ධියේ ම පිළි ගනිමින් මෙරට රාජ්‍ය බලය වූ රාජ්‍ය ආර්ථිකය කඩා ඉහිරවූ ආකාරය පැහැදිලිව ප්‍රකාශ කළේය.

ඒ යුගයේ පුද්ගලිකකරණය කිරීම තමන් කර්මාන්ත ඇමැති ලෙස ආරම්භ කළ බව පවසමින් විකිණූ වටිනා ලාබ ලැබූ රාජ්‍ය ආයතන ලැයිස්තුවක් දිග හැර අද ද ලාබ ලබන රජයේ ආයතන විකිණීම විධායක ජනපති ලෙස සාධාරණීකරණය කරන විලාසය උජාරුවෙන් හැඟවීම මෙරට රාජ්‍ය ආර්ථිකය හා ජනතා රාජ්‍ය බලය දුර්වල කර ලිබරල් සම්ප්‍රදාය ස්ථාපනය කිරීමේ උච්චතම ශෝචනීය අවස්ථාවක් වන්නේය.

ජනපතිවරයා ඒ පිළිබඳ පැවසුයේ මෙලෙසින්,

“ගරු කථානායකතුමනි, මේක ආරම්භ කරන්න කලින් විපක්ෂ නායකතුමත් කිව්වා, ඊට පස්සෙ ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමත් කිව්වා, මේ… පාඩු ලබන ඒව විකුණන්න. ලාබ ලබන ඒවා විකුණන්න එපා, කුණුකොල්ලෙට කියලා.

මේ රටේ ඉතිං ඔය පුද්ගලිකකරණය කරන එක, නැත්නම් ජනතාකරණය කරන එක පටන් ගත්තේ ප්‍රේමදාස ජනාධිපතිතුමා යටතේ. මමයි ඒක ආරම්භ කළේ කර්මාන්ත ඇමතිතුමා හැටියට.”

“අපි පළමුවෙන්ම විකිණුවේ ‘යුනයිටඩ් මෝටර්ස්’, ලාබ ලබන ආයතනයක්.”

“දෙවනුව කරේ ‘සිලෝන් ඔක්සිජන්’, ලාබ ලබන ඒවා”

“’ලෙදර් කෝපරේෂන් ‘ ලාබ ලබනවා.”

“’ටයර් කෝපරේෂන්’ ලාබ ලබනවා.”

“’ලංකා මිල්ක් ෆුඩ්ස්’ ලාබ ලබනවා.”

“’ලංකා ඩිස්ටිලරීස්’ ලාබ ලබනවා.”

“ඊළඟට අපි වැවිලි සමාගම් විකිණුවා. සමහර ඒවා අලාබ ලබනවා. සමහර ඒවා ලාබ ලබනවා.”

“හැත්තෑ හතේ (1977) ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා ආර්ථිකය විවෘත කළා. විවෘත කළාම ප්‍රේමදාස ජනාධිපතිතුමා අසූ නමේ (1989) ඊළඟ පියවර ගත්තා.  ඒ පියවර තමයි මේ රටේ තිබුණ රජයේ පාලනය ඉවත් කිරීම. රජයේ පාලනය ඉවත් කරලා  ඒ වෙනුවට අපි ආරම්භ කළේ සමහර අංශ පුද්ගලික අංශයට බාර දෙන්න. මේක අපි උදාහරණයක් කර ගත්තේ චීනය. ඩෙන්ෂියාඕ පිං මැතිතුමා ආරම්භ කරපු වැඩසටහන. ඉතිං ඒක ඉදිරියට ගෙනිච්චා.”

“දැනුත් බලන්නේ, ඒක කරන්න. ඉතිං අපි බැලුවේ ලාබ ලබන ඒවා පුද්ගලිකකරණය කරන්න. ඊයේ අපේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා කිව්වා, අලාබ ලබන ඒවා විතරයි විකුණන්න ඕන කියලා. අද එතුමගේ සහයෝගයට විපක්ෂ නායකතුමත් කියනවා අලාබ ලබන ඒවා විතරයි විකුණන්න ඕන කියලා. ඔන්න ඔබතුමාට හොඳ අනුගාමිකයෙක් ඉන්නවා. ඉතිං අපි තීරණය කරමු මොකද්ද අපි කරන්නෙ කියලා.”

ආදී වශයෙන් පවසමින් පුද්ගලික අංශයට රාජ්‍ය සම්පත් පැවරීමේ ළාමක පහසු අදූරදර්ශි කටයුත්ත පිළිබඳ ඉතා සැහැල්ලු කතාවක් කරයි.

මීට අමතරව ජනපති මැදුර වැනි රාජ්‍ය දේපොළ ජනතා දුක අනිසි ලෙස පාවිච්චි කරමින් යම් පිරිසක් විසින් බලහත්කාරයෙන් අල්ලා ගනු ලැබීමේ වැරැදි සහගත ක්‍රියාව පිළිබඳවත් මෙවැනි බලවේගවලට යටත් නොවන ලෙසත් තමන් ඒකාධිපතියකු, හිට්ලර් කෙනකු ලෙස හඳුන්වන බවත් ජනපති වරයා පවසයි.

එම ක්‍රියාවලින් සම්පූර්ණයෙන්ම රටේ ක්‍රමවේදය නැති වෙන්න ගිය බවත් රාජ්‍ය අල්ලා ගැනීමට ගිය බවත් ඒ පසුපස කුමාර් ගුණරත්නම් සහිත පෙරටුගාමි සංවිධානය සිටි බවත් ජනපතිවරයා පවසයි. කුමාර් ගුණරත්නම් ද බැසිල් රාජපක්ෂ ද දෙදෙනාම ද්විත්ව පුරවැසියන් බවත් එවිට කුමක් තෝරා ගන්නේද යන්නත් ඔහු විමසයි.

මේ ආදී වශයෙන් පවසන ජනපතිවරයා ආණ්ඩුව වෙනස් කරන්න අරගලයක් අලුතින් කරන බවත් බලපත්‍ර ගෙන ඕනෑතරම් කෑගහගෙන යන ලෙසත් විවිධ නීතිඥයන් ද මේවාට කතා කරන බවත් ඒවා කළ නොහැකි බවත් අරගලයක් තව කරන්න ආවොත් ඊට ඉඩ නොදෙන බවත් හමුදාව යොදවන බවත් හදිසි නීතිය දාන බවත් එහෙම කරන්න ආවොත් කරන්න නොදෙන බවත් ජනපතිවරයා ස්ථිරවම පවසා සිටී.

එමෙන් ම පාර්ලිමේන්තුව විසුරුවන්නේ නැති බවත් ආර්ථික ප්‍රශ්නය විසඳුවාට පසු එය සිදු කළ යුතු බවත් ජනපතිවරයා පවසයි.

එම කතාව,

Leave A Reply

Send this to a friend