ගල්වැව සිරිධම්ම හිමියන් ඇප මත නිදහස් කෙරේ… විදෙස් ගමන් තහනම්…

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබා පසුව රක්ෂිත බන්ධනාගාර ගත කළ ගල්වැව සිරිධම්ම හිමියන් ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද 23 වැනිදා නියෝග කර තිබේ.

අත් අඩංගුවට ගැනීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සිරිධම්ම හිමියන් අද  කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ටී. එන්. එල්. මහවත්ත මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය දී තිබේ.

එහි දී ත්‍රස්ත මර්දන කොට්ඨාශය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ෂවීන්ද්‍ර වික්‍රම සමග පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 7- (2) වගන්තිය යටතේ අදාළ සැකකරු කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට නීතිපතිවරයා එකඟතාවය පළ කර ඇති බව දන්වා තිබේ.

ඒ අනුව සිරිධම්ම හිමියන් රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ අතිරේක මහෙස්ත්‍රාත්වරිය එම හිමියන්ගේ විදේශ ගමන් තහනම් කිරීමට ද නියෝග කළාය. ඊට අමතරව සෑම මසකම අවසන් ඉරු දින ත්‍රස්ත මර්දන කාර්යාංශයට වාර්තා කළ යුතු බවටත් කොන්දේසියක් පැනවූ අතර එම නඩුව සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීමෙන් වළකින ලෙස ද සිරිධම්ම හිමියන්ට ඇප කොන්දේසියක් පැනවූවා ය.

තව ද මෙම නඩුව පැවැත්වෙන කාලසීමාව තුළ ප්‍රචණ්ඩ කටයුතුවල යෙදීමෙන් වැළකිය යුතු බවත් එසේ කළ බවට පැමිණිලි ඉදිරිපත් වුවහොත් මෙම ඇප අවලංගු කරන බවත් මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.

සිරිධම්ම හිමියන් සමග සිටි අදාළ සිද්ධියේ අනිත් සැකකරු ලෙස අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ද නම් කර සිටින අතර ඔහු මේ වන විටත්  ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාර ගතව සිටින බැවින් මෙම පැමිණිල්ල දෙසැම්බර් 12 වැනිදා යළි කැඳවීමට නියමිතයි.

Leave A Reply

Send this to a friend