ඩොලර් ගේන්නයි මං ආවේ! තව සති 2න්  මගේ සැලැස්ම එළියට දානවා.

අද පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමෙන් පසු ධම්මික පෙරේරා මන්ත්‍රීවරයා මාධ්‍යයෙන් නැගුණු ප්‍රශ්නවලට පිළිතුරු  දුන්නේ මෙලෙසින්. එහිදී තම සැලසුම් සති 2 ක් ඇතුළත එළියට දෙන බව ඔහු පවසනවා.

කොහොමද අද ඔබ මේ අලුත් තත්වය දකින්නේ?
“මං හිතනවා රටට වැඩක් කරන්න තමයි මං මෙතනට ආවේ කියලා. ප්‍රතිඥා දෙන්න කලින් මගේ වත්කම් බැරකම් ප්‍රකාශය සහ ආදායම් බදු නිෂ්කාශන සහතිකයත්  බාර දුන්නා. මං හිතනවා  එතනින් ම වෙනසක් සිදු වෙයි කියලා. ප්‍රශ්නය තියෙන නිසයි මම මෙතනට ආවේ. දැන් ප්‍රශ්නයට විසඳුම් හොයන එකයි මගේ කාර්යය වෙන්නේ. මං හිතනවා මට ඒක කරලා ජය ගන්න පුළුවන් කියලා.

පුළුවන් වෙයිද ඔබතුමාට?
යුද්දෙ තිබුණු වෙලාවේ මම තමයි ආයෝජන මණ්ඩලයේ සභාපති හිටියේ.  ඒකෙන් මට හොඳ විශ්වාසයක් තියෙනවා. රස්සාවල් නැතිවනවා කියන වෙලාවක රස්සාවල් හදන්න තමයි මං ආවේ.

පෞද්ගලික අංශයේ දැවැන්ත ව්‍යාපාරිකයෙක් ලෙස අසහනයෙන් පෙළෙන ජනතාවට සහ තරුණයන්ට මොකද්ද කියන්නේ ?
ඒ අයගේ සිතුම් පැතුම් මං හොඳට හඳුනනවා. මං හිතනවා ඒ අභියෝගය තමයි මට වැඩියෙන් ම ජයගන්න පුළුවන් කියලා.

බැසිල් මහත්තයා කතා කළේ නැද්ද ඔබතුමාට?
කතා කළා. එතුමටත් මම ස්තුතිවන්ත වෙනවා. පුද්ගලික කැමැත්තෙන්ම වෙන කෙනකුට දෙන්න හදපු අවස්ථාව මට දුන්න එකට ගෞරව කරනවා.

ජනාධිතුතමා එක පැත්තක. අගමැතිතුමා තව පැත්තක. කොහොමද මේක බැලන්ස් කරගෙන ඔබතුමා ගමනක් යන්නේ ?
ඒ පැති විතරක් නෙමෙයි විපක්ෂයයි හැමෝම එකතු වෙලා  මේ කර්තව්‍ය කළොත් විතරයි රටගොඩ ගන්න පුළුවන්. අපි ඒ තැනට ගේන්න ඕන රට.

දැනුම් දීල ද තියෙන්නේ මේ අමාත්‍යංශයයි ලැබෙන්නේ කියලා?
දෙකක් ගැසට් කරලා තියෙනවා. බලමු මොකද්ද ලැබෙන්නේ කියලා. හම්බ වුනාම බලමු. ඒ ගැන මුකුත් හිතන්න එපා ! අමාත්‍යංශ 23 ක් මගේ පොතේ ලියලා තියෙනවා. ඒ ඕන එකක් මට ලැබුණොත් කරන්න ලෑස්තියි.

ඔබතුමා හිතන්නේ නැද්ද ගිලෙන නැවකට නැග්ගේ කියලා?
හැමෝටම ගිලෙනවා කියලා පෙනුනට මට පේන්නෙ නෑ මේක ගිලෙනවා කියලා.  මං දකින්නේ මේක වේගයෙන් පැද්දෙන නැවක් කියලා. ඒ නිසා තමයි මං නැග්ගේ ඒ පැද්දිල්ල නවත්තන්න.

දැන් මේ රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්නෙ හැමදේටම පෝලිං නේ. ඒක අයින් කර ගන්න පුළුවන්ද?
ඩොලර් නැති හින්දා තමයි මේ ඔක්කෝම දේ සිද්ධ වෙලා තියෙන්නේ. ඇත්තටම ඒ ඩොලර් හදන වැඩපිළිවෙළේ තමයි මම මූලිකත්වය ගන්නෙ. දියුණු කරන්න.

පුළුවන් වෙයිද ඩොලර් ටිකක් හදා ගන්න?
පුළුවන් හින්දනෙ එන්නෙ. ක්ෂණික විසඳුමක් හැටියට මාව ගන්න එපා. ණය ගන්නවාට වැඩිය මම ඩොලර් හදන විදිහ තමයි දන්නේ. මගේ ප්ලෑන් එකත් එක්ක තව සුමාන දෙකක් ඇතුළත ඒ ටික එළියට දෙනවා.

ඔබතුමා එද්දි විශාල පිරිසක් විරෝධය දැක්වුවා. ඒ අයට දෙන පණිවිය මොකද්ද?
100% ක් අපේ අදහස්වලට එහෙම කවුරුත් එන්නෙ නෑ. එහෙම ප්‍රතිශතයක් ඉන්නවා. වැඩක් කරනකොට අපි ඒවටත් ෆේස් කරනවා.”

About Author

Leave A Reply

Send this to a friend