ලකුණු 4 ක තියුණු-විශිෂ්ට ජයක්! 30වසරකට පසු ඕස්ට්‍රේලියාව පැරදවූ අපූරුව මෙන්න…

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැති 4 වැනි එක් දින තරගය ලකුණු 4 කින් විශිෂ්ට ලෙස ශ්‍රී ලංකාව ජය වාර්තා කළේය.

තුන් ඉරියව්වේම දක්ෂතාවයට අමතරව උචිතම අවස්ථාවේ දී නිවැරදි තීරණය ගැනීමට දසුන් ශානක ඇතුළු කණ්ඩායම සමත්වීම නිසා ඕස්ට්‍රේලියාවට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති සිව්වැනි එක් දින තරගයෙන් ලකුණු 4 ක විජයග්‍රාහී තියුණු ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට හැකියාව ලැබුණා.

එක් දින ශ්‍රේණිගත කිරීම්හි තෙවැනි ස්ථානයේ රැදී සිටින ඕස්ට්‍රේලියාවට එරෙහිව ලද  මෙම තරග යත් සමඟ තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම කැන්ගරුවන්ව 3-1 ක් ලෙස පරාජයට පත් කිරීමට ද ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත්වූහ. වර්ෂ 1992 දී අර්ජුන රණතුංගගේ නායකත්වය යටතේ ඔස්ට්‍රේලියානුවන් පරාජය කිරීමෙන් පසු ගෙවී ගිය වසර 30 කට අධික කාලයේ දී තම මව්බිමේ දී ලද පළමු එක්දින තරගාවලි ජය වශයෙන් මෙම තරගාවලි ජයග්‍රහණය ඉතිහාස ගත විය. ඒ අතරතුර කාලයේදී ශ්‍රී ලංකාව 2011 වසරේදී ඔස්ට්‍රේලියාව පරාජය කිරීමට සමත්වූ නමුත් එම තරගාවලිය ශ්‍රී ලංකාවෙන් පිටත, ඔස්ට්‍රේලියාවේදී පැවැත්විණි.

කෙසේ වෙතත් ලකුණු 259 ක ඉලක්කයක් හඹා යෑමේ දී ඩේවිඩ් වෝනර් ඇතුළු පිතිකරුවෝ අවශ්‍ය ලකුණු වේගය රඳවා ගනිමින් පන්දුවට පහර දීම නිසා තරගයේ පාලනය 36 වැනි පන්දුවාරය වන විටත් ඔස්ට්‍රේලියානුවන් සතු විය. එහෙත් ධනංජය ද සිල්වා විසින් ට්‍රෙවිස් හෙඩ්ගේ කඩුල්ල දවා ගැනීමත් සමඟ යළි තරගයට අවතීර්ණ වූ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ලකුණු 3 ක් ඇතුළත ග්ලෙන් මැක්ස්වෙල් සහ ඩේවිඩ් වෝනර් දවා ගනිමින් සියලු වාසි ශ්‍රී ලංකාව දෙසට හරවා ගත්තේය..

මෙහිදී මැක්ස්වෙල් දවා ගැනීම වෙනුවෙන් තෙවැනි විනිසුරුගේ සේවය ලබා ගැනීමට තීරණය කිරීම තරගය සම්පූර්ණ කණපිට හැරීමට හේතුවිය. බැලූ බැල්මට එය පිට ඉන්නෙන් එපිට පතිත වූ පන්දුවක් සේ දිස් වූ බැවින් ප්‍රධාන විනිසුරු ලෙසින් කටයුතු කළ රුචිර පල්ලියගුරුගේ මහතා එය ප්‍රතික්ෂේප කර සිටියේය. එහෙත් මහීෂ් තීක්ෂණ විසින් සිදුකරන ලද ඉල්ලීම සලකා බැලූ ශ්‍රී ලංකා නායකයා එය තෙවැනි විනිසුරු වෙත යොමු කිරීමට ගත් තීරණය ශ්‍රී ලංකා වාසියට බලපෑවේය.

මේ සියල්ල සිදුවද්දී ලකුණු 189 කට කඩුලු 4 ක් ලෙසින් සටහන් වූ  ලකුණු පුවරුව පන්දු 8 කදී එකවරම ලකුණු 192 කට කඩුලු 7 ක් ලෙසින් සටහන් විය. නිරෝෂන් දික්වැල්ලගේ සුපිරි ස්ටම්ප් කිරීම හමුවේ පෙනි පෙනී තිබූ ශතකය වෝනර්ට අහිමිවූවේය. ඔස්ට්‍රේලියානු පිලේ එකම සවිය බවට පත් වුණු වෝනර් දැවී යන විට ලකුණු 99 ක් ලබා සිටියේය. වෝනර්ට පෙර ෆින්ච් ලකුණු නොලබා දැවී ගිය අතර මෙතෙක් එක්දින තරග ඉතිහාසයේ ආරම්භක පිතිකරුවන් යුගලයක් ලකුණු බිංදුවකටත් ලකුනු 99 කටත් දැවී ගිය පළමු අවස්ථාව වශයෙන් සටහන් විය.

මැතිව් කුනේමන් තරගය ජයග්‍රහණය සඳහා රැගෙන යෑමට දැඩි උත්සායක නිරත විය. දසුන් ශානක යැවූ අවසන් පන්දුවාරයේදී ලකුණු 19 ක අභියෝගයක් ඔස්ට්‍රේලියානුවන් හමුවේ පැවැති අතර එහිදී පළමු පන්දු 5 ට ලකුණු 14 ක් රැස් කිරිීමට කුනේමන් සමත්විය. අවසන් පන්දුවේ ඔස්ට්‍රේලියානු ජයග්‍රහණය සඳහා ලකුණු 5 ක් ලබා ගත යුතු වුවත් කුනේමන් එල්ල කරන ලද පහර එක්ස්ට්‍රා කවර්හි පන්දු රැකි චරිත් අසලංක රැක ගැනීම නිසා අවසන් පන්දුව දක්වා ජයග්‍රහණය දෙපිලටම අවිනිශ්චිතව තිබූ තරගයේ ජය ශ්‍රී ලංකාවට ලැබිණි.

මන්දගාමී තණතීරුවක වුවද ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන්නන් හොඳින් පන්දු යැවීමත් අනවශ්‍ය ලෙස කඩුලු අතර දිව යෑමේදී කඩුලු 3 ක් අහිමිවීමත් නිසා නියමිත පන්දුවාර 50 අවසන්වීමට පන්දු 6 ක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකා ඉනිම නිමාවට පත්විය. ඉනිමේ අවසන් පිතිකරුවා ලෙසින් මහීෂ් තීක්ෂණ දුවද්දී දැවී යෑමකට හසුව ඉනිම හමාර වූ නමුත් ලකුණු 259 ක ඉලක්කයක් ඕස්ට්‍රේලියානුවන් වෙත ලබා දීමට ශ්‍රී ලංකාව සමත්විය.

වඩාත් මන්දගාමීව තිබෙන කොළඹ ආර්. ප්‍රේමදාස තණතීරුවේ දී පළමුව ලකුණු රැස් කිරීමේ කාර්යයේ නියැළුණු ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 3ම ලකුණු 34 කදී බිඳ දැමීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නෝ සමත් වූහ.

ගෙවී ගිව අවසන් වසර කීපයේදීම ශ්‍රී ලංකා කණ්ඩායමේ අසාර්ථක භාවයට හේතුවූ කරුණක් වූයේ කඩා වැටීමකදී ශක්තීමත් කඩුලු අතර සම්බන්ධතා ගොඩ නැගීමට නොහැකිවීමය. එහෙත් එම ගැටලුවට කදිම විසඳුම් ලබා දුන් ධනංජය ද සිල්වා සහ චරිත් අසලංක සිව්වැනි කඩුල්ලට ලකුණු 101 ක් එක් කරමින් ශ්‍රී ලංකා ඉනිම ගොඩ ගත්හ. ඒ සදහා පන්දු 100 ක් වැය කළ දකුණත් සහ වමත් පිතිකරුවන් දෙදෙනාගෙන් ධනංජය ද සිල්වා ලකුණු 60 කදී ඉනිම නිමා කරගත්තත් සිය අන්තය ආරක්ෂා කරගත් චරිත් අසලංක මංගල එක්දින ශතකය කරා ඇදී ගියේය.

About Author

Leave A Reply

Send this to a friend