කොළොම්තොට වගා සංග්‍රාමය නැවත ආරම්භ කළා! -කොළඹ දිස්ත්‍රික් ලේකම්

ආර්ථික අර්බුදය හමුවේ කොළොම්තොට වගා සංග්‍රාමය නමින් වසර තුනකට පෙර ආරම්භ කළ කෘෂිකාර්මික වැඩසටහන නැවතත් ප්‍රතිසංවිධානය කොට ආරම්භ කර ඇති බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ය.

මාධ්‍ය අමතමින් වර්ග කිලෝමීටර් 699 ක් වැනි කුඩා භූමි ප්‍රමාණයක ලක්ෂ 24 ක ජනතාවක් ගෘහ ඒකක 590,000 ක් ජීවත් වන බව පෙන්වා දෙන යසරත්න මහතා, මෙම කෘෂිකාර්මික වැඩසටහන කොවිඩ් වසංගත කාලයේ දී ආරම්භ කළ බව සඳහන් කළේය. ඉදිරියේ දී ඇතිවිය හැකි ආහාර අර්බුදය කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් කළමනාකරණය කරන ආකාරය පිළිබඳව ඒ මහතා වැඩි දුරටත් කරුණු කියා සිටියේය.

ඒ අනුව දින 67 ක් පමණ පැවති නිරෝධායන ඇදිරිනීතිය කාලසීමාවේ දී කොළඹ දිස්ත්‍රික්කය විශාල බලපෑමකට ලක් වූ බවත් ප්‍රජා සංවිධාන, පෞද්ගලික අංශය, රාජ්‍ය අංශය එක්ව එම කාලසීමවේ දී කෘෂිකාර්මික කටයුතු ආරම්භ කළ බවත් පැවසූ අතර මෙම වගා කටයුතු සඳහා විවිධ ක්ෂේත්‍ර නියෝජනය කළ තරුණ පිරිස් දායක් වූ බව ද සඳහන් කළේය. මෙම පිරිසට කොළඹ දිස්ත්‍රික්කයේ පැවති පුරන් කුඹුරු 800 කට අධික ප්‍රමාණයක් අස්වැද්දීමට හැකි වූ බවද යසරත්න මහතා පැවසීය.

තව ද කොළඹ දිස්ත්‍රික්කයේ විවිධ කෘෂිකාර්මික අංශයන් පවතින බව පෙන්වා දුන් ඒ මහතා තේ පොල් රබර් යන අපනයන භෝගයන් මෙන් ම විවිධ පලතුරු වගා කෙරෙන බවත් යල සහ මහ කන්න දෙකම වගා කිරීමේ හැකියාව මෙම දිස්ත්‍රික්කයේ පවතින බවත් වැඩිදුරටත් කියා සිටී. දිස්ත්‍රික්කයේ නාගරික ප්‍රදේශවලට ගැළපෙන කෘෂිකාර්මික බෝග වගාවන් මොනවාද යන්න මේ වන විට හඳුනා ගෙන ඇති බව පැවසූ ඒ මහතා නාගරික මෙන්ම ග්‍රාමීය මට්ටමෙන් කෘෂිකාර්මික කටයුතු ආරම්භ කර ඇති බවත් පැවසීය.

මෙතෙක් භාවිතයට නොගෙන පවතින රජයේ සහ පෞද්ගලික අංශ ඉඩම් භාවිත කෙරෙමින් වගා කටයුතු සිදු කෙරෙන බවත් විහාරස්ථාන පෙර පාසල් ආබාධිත නිවාස වැඩිහිටි නිවාස ඇතුළු භාවිත කළ හැකි සෑම භූමියකම මේ වන විට වගා කටයුතු ආරම්භ කර ඇති බවද යසරත්න මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

About Author

Leave A Reply

Send this to a friend