පැතුම්ගේ ප්‍රබල පිතිහරඹයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 6 ක සුපිරි ජයක්! 2-1 ක් ලෙස තරගාවලියේ ඉදිරියෙන්…

ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා එක්දින තරගය ඊයේ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති අතර පළමුව පිත්තෙන් දස්කම් පෙන්වීමේ හිමිකම ලැබුවේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමයි. නියමිත පන්දුවාර 50 අවසන ඔවුන් ලකුණු 291 ක ඉලක්කයක් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුන්නා.

කෙසේ වෙතත් ඊට එරෙහිව තරගය ආරම්භ කළ අපේ පිතිකරුවන් අතර එම ලකුණු 291 ඉලක්කය ට යෑමේ දී එය මුලුමනින්ම තමන්ගේ තරගයක් බවට පත් කරගත් පැතුම් නිස්සංකගේ මංගල එක්දින ශතකය සමඟ රැස් කරන ලද ලකුණු 137 ත්, කුසල් මෙන්ඩිස් සමඟ එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නංවන ලද ලකුණු 170 ක සම්බන්ධතාව ද ප්‍රධාන කොට ඉලක්කය පසු කරමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තෙවැනි එක්දින දිවා රාත්‍රි තරගයෙන් ඕස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු 6 ක විශිෂ්ට ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඒ ජයග්‍රාහී රාත්‍රියේ දී හැකියාව ලැබුණා. දෙපිළම 1-1 ක් ලෙස සමව සිටි තරගාවලියේ මෙම ජයග්‍රහණයත් සමඟ 2-1 ක් ලෙස පෙරමුණ ගැනීමට ද දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වී තිබේ.

ශ්‍රී ලංකාවේ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී හඹා යමින් ජයගත් වැඩිම ලකුණු සංඛ්‍යාව බවට පත්වූ මෙම ජයග්‍රහණය 49 වැනි පන්දුවාරයේ තෙවැනි පන්දුවේදී  සපුරා ගනිද්දී  ප්‍රතිවාදී පන්දු යවන්නන් හමුවේ කඩුලු 4ක් පමණක් ලබා දීමට ශ්‍රී ලංකා පිතිකරුවන් වග බලා ගත්තා. මෙය ඔස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායමක් ජය ගන්නා ලද වැඩිම ලකුණු සංඛ්‍යාව මෙන්ම ශ්‍රී ලංකාව තුළදී ජය ගත් සිව්වැනි වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව බවට ද පත්වේ. ශ්‍රී ලංකා කණ්ඩායමක් මීට පෙර මෙසේ ජයගෙන ඇති ඉහළම ලකුණු සංඛ්‍යාව බවට පත්ව තිබුණේ 2012 වසරේ දී හෝබාට්හි පැවැති තරගයේ කඩුලු 7 ක් දැවී රැස් කරන ලද ලකුණු 283 වේ.

මවුබිමේ ජයග්‍රහණය පතා ක්‍රීඩාංගනයට අතුරු සිදුරු නැතිව එක් වූ ක්‍රීඩා ලෝලීන්ට කලකට අමතක නොවන ඉනිමක් දියත් කළ පැතුම් නිස්සංක 48 වැනි පන්දුවාරයේ පළමු පන්දුවට දැවී යන විටත් පන්දු 147 කදී ලකුණු 137 ක් ලබා සිටි අතර හයේ පහර 2 ක් සහ හතරේ පහර 11 කින් වර්ණවත් වුණු නිස්සංකගේ මෙම ශතකය ඔස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකා පිතිකරුවකු රැස් කරන ලද ඉහළම  පෞද්ගලික ලකුණු සංඛ්‍යාව ලෙසින් ද සටහන් වීය. හිටපු නායක සනත් ජයසූරිය 2003 වසරේ සිඩ්නි ක්‍රීඩාංගණයේදී රැස් කරන ලද ලකුණු 122 මීට පෙර ශ්‍රී ලංකා පිතිකරුවකු රැස් කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව බවට පත් වී තිබිණි.

– තොරතුරු ශ්‍රී ලංකා ක්‍රිකට් වෙබ් අඩවිය ඇසුරිනි.

About Author

Leave A Reply

Send this to a friend