කුරුන්දි විහාරයට අන්තවාදින්ගෙන් දිගින් දිගටම කෙනහිලි -සම්පූර්ණ කතාව මෙන්න!

ඓතිහාසික වංශකතා හා මහාවංශයට අනුව ක්‍රි.ව. 100-103 තරම් ඈත බල්ලාටනාග රජු සමයේ දී ඉදි කොට ඇති කුරුන්දාශෝක විහාරයේ ධාතුන්වහන්සේලා නිධන් උත්සවයට පසුගිය දා දෙමළ සංවිධාන කීපයක් විරෝධතා පළකොට එය නවතා දැමූ පුවත අප වාර්තා කළා.

ඉන් පසු දිගින් දිගටම තත්වය මෙතෙක් වෙනසක් නොවූයේ ඒ පිළිබඳ සොයා බලා ක්‍රියාමාර්ග ගන්නා ලෙස මෙහි වටිනාකම පිළිබඳ දැනුම්වත් කරමින් විහාරාධිපති පූජ්‍යපාද ගල්ගමුවේ සන්තබෝධි නායක ස්ථවිරයන් වහන්සේ මෙරට දේශපාලනයේ නියැලෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරියන් වෙත ඊයේ ලිපියක් නිකුත් කර ඇත. එම ලිපිය සහ සම්පූර්ණ විස්තරය මෙසේ ගෙනහැර දක්වමු.

අන්තවාදීන්ගෙන් කුරුන්දි විහාරයට නැවතත් කෙනෙහිලි
කුරුන්දි පුරාවිද්‍යා භූමිය ඉපැරැණි බෞද්ධ සිද්ධස්ථානයක්…
-පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් කියයි…

දෙමළ කිහිපදෙනකුගේ උද්ඝෝෂණ හමුවේ කුරුන්දි විහාරයේ සර්වඥ ධාතු තැන්පත් කිරීමේ පින්කම නතර කෙරේ…

කුරුන්දි විහාරයේ සර්වඥ ධාතු තැන්පත් කිරීමේ පින්කම නතර කෙරිණි. ඒ මහා පින්කම පැවැත්වීමට සූදානම් කර තිබූ පසුගිය 12 වැනිදා උදෑසන උතුරේ පව්කාර දෙමළ මිනිසුන් පිරිසක් පැමිණ කුරුන්දි පුදබිම අසල උද්ඝෝෂණ කිරීමත් සමඟ පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජෙනරාල් අනුර මනතුංග විසින් පින්කම නතර කිරීමට තීරණය කළේය.

ඒ පව්කාර තීරණයත් සමඟ සර්වඥ ධාතුන් වහන්සේ වැඩම වූ මහානායක හිමියන් පැය ගණන් මහමඟ රස්තියාදු වූහ. එංගලන්තයේ සිට වැඩම කළ සුදු ජාතික ස්වාමීන්වහන්සේ ඇතුළු පින්කමට සහභාගි වූ භික්‍ෂූන් වහන්සේට කුරුන්දි පුදබිමට හෝ වැඩ කිරීමට අවස්ථාව නොලැබුණහ. මාසයකට වැඩි කාලයක සිට විවිධ දුෂ්කරතා මැද ලකලෑස්ති වෙමින් සද්ධාව පෙරදැරි කරගෙන එම පින්කමට සහභාගි වූ රට පුරා දහස් සංඛ්‍යාත බෞද්ධ බැතිමතුන්ට කුරුන්දි පුදබිම ආසන්නයටවත් යෑමට නොහැකි විය.

දෙමළ අන්තවාදීන් කිහිපදෙනකුගේ ගෝරනාඩුවට මහ නාහිමියන්, භික්‍ෂූන්වහන්සේ ඇතුළු දහස් සංඛ්‍යාත බෞද්ධ බැතිමතුන් මහමඟ අසරණ වූ අයුරු දැකීම දරාගත නොහැකි වේදනාවකි. එහෙත් අන්තවාදීන් යළි හිස ඔසවන උතුරේදී මීට වඩා යමක් අපට බලාපොරොත්තු විය නොහැක. එවැනි කාලකණ්ණි සිතුවිලිවලින් හදවත පෑරෙන විට, වල්වැදී තිබුණු කුරුන්දි පුරාවිද්‍යා භූමිය නැවත කළඑළි කිරීමට පෙරමුණගත් උතුරු පළාත් ප්‍රධාන සංඝ නායක ශන්තබෝධි හාමුදුරුවෝ අපට කතා කළහ.

“කුරුන්දි පුරාවිද්‍යා භූමියේ සංරක්‍ෂණ වෙන්නේ ලෝකයේ සොයාගෙන තියෙන විශාලතම පද්මාකාර එකම චෛත්‍ය වහන්සේ. විශාලතම කබොක් සෑය. මේ වෙනකොට සෑයේ හතරෙන් තුනක් සංරක්‍ෂණය කරලා තියෙනවා. ඒ වගේම කැණීම්වලදී හතරවෙනි උදය රජුගේ ශිලා ලේඛනය ඇතුළු සිලා ලේඛන දෙකක් සොයාගෙන තියෙනවා. ස්තූප කැණීමේදී ඉපැරැණි යූපගල ඇතුළුව පුරාවස්තු රාශියක්ම සොයාගෙන තියෙනවා. පිළිමගෙයි කැණීම් තුළින් මාබල් බුද්ධ ප්‍රතිමාවහන්සේ, බෝසත් ප්‍රතිමා ඇතුළුව පුරාවස්තු රාශියක්ම සොයාගෙන තිබෙනවා. එම ගවේෂණ වාර්තා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර තිබෙනවා. කැණීම් කරගෙන යන අතරතුර එම පුරාවිද්‍යා භූමිය තවත් පුළුල් කරන්න අවශ්‍ය බවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තීරණය කළා. අක්කර 420 ක් පුරාවට විහිදුනු බෞද්ධ නටබුන් ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නිගමනය කරනවා. ඇස් පනාපිට බෞද්ධ ඉතිහාසය ඉස්මතු වෙමින් තිබියදීත් හින්දු ජනතාවගේ උරුමය නැති වුණා කියලා දෙමළ ජාතික සන්ධානයේ සුමන්දිරම් මන්ත්‍රීවරයා පහුගිය දවස්වලත් අපිට විරුද්ධව අධිකරණයේ නඩුවක් දැම්මා. ඒ නඩුවත් විභාග වෙමින් පවතිනවා…”

“ඒ වගේම දෙමළ ජාතික සන්ධානය සහ එම ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් මේ සංරක්‍ෂණ ව්‍යාපෘතිය කඩාකප්පල් කිරීමට නොයෙක් අයුරින් බාධා කළා. එවැනි පසුබිමක තමයි කුරුන්දි විහාරයේ චෛත්‍ය නැවත ප්‍රතිසංස්කරණය කර ධාතු තැන්පත් කිරීම රාජ්‍ය මට්ටමේ උත්සවයක් ආකාරයෙන් පවත්වන්න සැලසුම් කළේ. ධාතු නිධාන උත්සවය සංවිධානය කළේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ බුද්ධ ශාසන අමාත්‍යාංශය. ආරාධනා පත්‍ර සකස් කළෙත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. ආධාර මුදල් ලක්‍ෂ පනහක් විතර වියදම් කර උත්සවය සංවිධානය කර, රට වටේම බෞද්ධ ජනතාවට ආරාධනා කර අන්තිමේ පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජෙනරාල් විසින් උත්සවය නතර කළා. ඒක මොන පව්කාර වැඩක්ද? කොන්දක් තියෙන මනුස්සයෙක් එහෙම කරයිද…”

“ඒ වගේම පොලිසිය, හමුදාව බලා සිටියදී උද්ඝෝෂණකරුවන් මාර්ග බාධක තල්ලු කරගෙන කුරුන්දි සෑය ළඟට ගිහින් උද්ඝෝෂණ කළා. ප්‍රදේශවාසී දමිළ වැසියන් කිසිම කෙනෙක් එම උද්ඝෝෂණයට සහභාගි වෙලා හිටියේ නෑ. සේරම ඇවිත් හිටියේ යාපනයේ දෙමළ මිනිස්සු. පුදබිම අවට දෙමළ මිනිස්සු අපිත් එක්ක සුහදව කටයුතු කරගෙන යනවා. ඒ මිනිසුන්ට කෑම, බීම, ළමයින්ට පොත්පත් ටික ලබාදෙන්නෙත් අපි. බෞද්ධ පුදබිම් කොල්ලකන්න වළිකන කිසිම දෙමළ දේශපාලනඥයෙක් අසරණ දෙමළ මිනිසුන් ගැන සොයා බලන්නේ නෑ. ඒත් කුරුන්දි පුදබිමේ උද්ඝෝෂණය කරපු දෙමළ දේශපාලනඥයන් කෑමෝර දුන්නේ ‘අපේ මිනිස්සුන්ට කන්න… රටට සල්ලි නෑ… ඒත් පන්සල් හදනවා…’ කියලා. අපි කුරුන්දි විහාරය ප්‍රතිසංස්කරණය කරන්නේ රජයේ සල්ලිවලින් නෙමෙයි. තිලංග සුමතිපාල මහතාගේ සහ ලොව පුරා බෞද්ධ පින්වතුන්ගේ ධන පරිත්‍යාගවලින්. ඩයස්පෝරාවේ ඕනෑ එපාකම් ඉටු කරන දෙමළ දේශපාලනඥයො ඒවා දන්නෙ නෑ. කියන්න අවශ්‍යත් නෑ…” උතුරු පළාත් ප්‍රධාන සංඝ නායක ගල්ගමුවේ ශාන්තබෝධි හාමුදුරුවෝ එසේ ප්‍රකාශ කරන විට අපි පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතාට ප්‍රශ්න කිහිපයක් යොමු කළෙමු.

“අපි එම උත්සවයට යනකොට පෝස්ටර් උස්සගෙන පිරිසක් උද්ඝෝෂණය කළා. එවැනි වාතාවරණයක් තුළ එම උත්සවය කළා නම් සාමය කඩවීමක් වෙන්න තිබුණා. ඒ නිසා අමාත්‍යාංශ ලේකම්තුමා සමඟ සාකච්ඡා කර උත්සවය කල් දැමීමට තීරණය කළා.

ඒ උත්සවය සංවිධානය කරලා තිබුණේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නේද?

නෑ… පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනු දැනුම මත කුරුන්දි පුරාවිද්‍යා භූමියේ ප්‍රතිසංස්කරණ කටයුතුවලට බරපැන දරන තිලංක සුමතිපාල මහත්තෙලා තමයි මේ උත්සවය සංවිධානය කළේ.

කුරුන්දි පුරාවිද්‍යා භූමියෙන් සොයාගත් ස්මාරකවලින් ‘ඉපැරැණි බෞද්ධ සිද්ධස්ථානයක්’ බව තහවුරු වෙලා තියෙනවද?

පැහැදිලිව තහවුරු වෙලා තියෙනවා. මේ ස්ථානය සම්බන්ධයෙන් නඩුවක් විභාග වෙන නිසා හැම දේකටම උත්තර දෙන්න බෑ… පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජෙනරාල් අනුර මනතුංග මහතාගේ අදහස් විමසීමෙන් පසු නැවත අපි ශාන්තබෝධි හාමුදුරුවන්ගේ දේශනාවට සවන් දුන්නෙමු.

“සීදරන්, රවිහරන් ඇතුළු පිරිස කෑමොර දුන්නේ මේ ස්ථානයේ තිබුණේ කෝවිලක්. මේ හැම දෙයක්ම අලුතින් හදපු ගොඩනැගිලි කියලා. එහෙම කියනකොටත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නිහඬයි. ‘මේ ස්ථානයෙන් බුද්ධ ප්‍රතිමා සොයාගෙන තියෙනවා… මෙච්චර බෞද්ධ නටබුන් සොයාගෙන තියෙනවා. ඔයාලා හින්දු කෝවිලක් කියන්නේ මොන පදනමකින්ද කියලා ප්‍රශ්න කළේ නෑ. ඒ වගේම කුරුන්දි පුරාවිද්‍යා භූමියෙන් සොයාගත් ස්මාරක සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ වෙනකම් කිසිදු ප්‍රකාශයක් නිකුත් කරලා නෑ. නිසි බලධාරීන් විදිහට ඔවුන් ප්‍රකාශයක් නිකුත් කළා නම් මේ ගැටලුව ඉවරයි. කුරුන්දි විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා දැනට කෝටි දෙකකට වැඩි මුදලක් වියදම් කර තිබියදීත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ ස්ථානය සම්බන්ධයෙන් නිවැරැදි ප්‍රකාශයක් නිකුත් නොකිරීම අපිටත් ගැටලුවක්…” ශාන්තබෝධි හාමුදුරුවන්ගේ දේශනය අතරේ මගේ සිත කුරුන්දි පුදබිමේ ඉතිහාසයට ගියේය.

2013 වර්ෂයේ අගෝස්තු මස 13 වැනිදා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ ස්ථානය හඳුනාගෙන ස්මාරක ලෙස ගැසට් කෙරිණි. එහෙත් එදා සිට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කුරුන්දි විහාරය ගැන වැඩි අවධානයක් යොමු නොකරන ස්වභාවයක් පෙනිණි. එවැනි පසුබිමක 2018 වර්ෂයේදී මේ ස්ථානය ගැන ගල්ගමුවේ ශාන්තබෝධි හාමුදුරුවන්ගේ අවධානයට යොමු වී තිබිණි. එල්ලාවල මේධානන්ද නායක හාමුදුරුවන් විසින් රචිත ‘උතුර, නැගෙනහිර බෞද්ධ උරුමය’ ග්‍රන්ථයේ මේ ස්ථානය ගැන සටහන් කර තිබූ පරිච්ඡේදය කියවා බලා කුරුන්දි පුරාවිද්‍යා භූමිය ගැන පුළුල් අවබෝධයක් ලබාගත් ගල්ගමුවේ ශාන්තබෝධි හාමුදුරුවෝ එම ස්ථානයට වැඩම කිරීමට තීරණය කර තිබිණි. ඒ අනුව එවකට වව්නියා දිස්ත්‍රික්කය භාරව සිටි පුරාවිද්‍යා සහකාර අධ්‍යක්‍ෂ පියතිලක බණ්ඩා, ජනක, අනුරාධ යන පුරාවිද්‍යා නිලධාරීන්ගේ උදව් උපකාර ඇතිව උන්වහන්සේ ඇතුළු කණ්ඩායමක් එම ස්ථානය සොයාගෙන ගියහ. එදා එම කණ්ඩායමට ඇතුළත්වීමට මා ද භාග්‍යවන්ත විය. එදා කුරුන්දි පුද බිම මහ කැලෑවකි. කබොක් සෑය පස් ගොඩකි. දකින දකින තැන විවිධ නටබුන්ය. වැල්වලින් එතී තිබුණු ගල් කණු නොපෙනෙන තරම්ය. එහෙත් මේ පුරාවිද්‍යා භූමියේ විශාල ඓතිහාසික වටිනාකමක් ඇති බව එදා අපට වැටහිණි.

මුලතිව් දිස්ත්‍රික්කයේ, මුහුදුබඩ පත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, තන්නිමුරුප්පු ග්‍රාම සේවා වසමේ පිහිටි කුරුන්දි පුරාවිද්‍යා භූමිය උතුරු පළාතේ විශාලතම බෞද්ධ සිද්ධාස්ථානය බව මේ වනවිට මුළු රටම අවබෝධ කරගෙන සිටින බව සැබෑය. ලංකාවේ ලියැවුණු අට්ඨකථාවන් ලෙස මහා අට්ඨකතාව, පච්චරි අට්ඨකතාව සහ කුරුන්දි අට්ඨකථාව යනුවෙන් අට්ඨකතා තුනක් පවතින බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ. එකී කුරුන්දි අට්ඨකතාව නම් සුවිශේෂී අට්ඨකතාව ග්‍රන්ථාරූඪ කර ඇත්තේ මේ ඓතිහාසික කුරුඳුවෙලි විහාරය නම් උතුම් පින්බිමේදී බව ඉතිහාසයේ සඳහන් වේ. ඛල්ලාඨනාග රජු (ක්‍රි.ව. 100 -103) ‘කුරුන්දපාසක’ නමින් මේ ස්ථානයේ විහාරයක් ගොඩනැඟූ බවත් පළමුවැනි අග්ග බෝධි රජු (ක්‍රි.ව. 571 – 604) විසින් ‘කුරුන්ද’ නම් සර්ව සාංගික විහාරයක් කරවා ඒ නමින් වූ වැවක් ද යොදුන් තුනක් පමණ විශාල පොල් වගාවක් ඇතුළු පූජාවන් සිදු කර බව ද ඉතිහාසයේ සඳහන්ය. පළමුවැනි විජයබාහු (ක්‍රි.ව. 1055 – 1110) යන රජවරුන් කුරුන්දි විහාරයට විවිධ අනුග්‍රහයන් දැක් වූ බවත් මහාවංශයෙහි සඳහන් වේ. එමෙන්ම බුදුන් වහන්සේ මෙම ස්ථානයට වැඩි බවද ජනප්‍රවාදයේ සඳහන් වේ. 1905 පාලන වාර්තාවේ සඳහන් පරිදි මෙරට ඇති විශාලතම ශිලා ලේඛනය පිහිටා ඇත්තේ ද මේ උතුම් පින්බිමේය. එම ශිලා ලේඛනය ලියැවී ඇත්තේ තුන්වන මිහිඳු රජුගේ ජල ගැටලුවක් විසඳීම සම්බන්ධයෙන් බවත් සඳහන්ය. එමෙන්ම මේ ස්ථානයේ ඇති සෑය ‘වට දාගයක්’ බව එම පාලන වාර්තාවේ ද සඳහන්ව ඇත. ඉන්දියාවේ සාංචි ස්තූපයේ හැඩයට ඇති මෙරට එකම සෑය මෙම ස්තූපය බව ද ඉතිහාසයේ ද සඳහන් වේ. කුරුන්දි විහාරය සම්බන්ධයෙන් ඉතිහාස තොරතුරු තවත් බොහෝය. එවැනි ඉතිහාසයක් සහිත කුරුන්දි විහාරයේ අයිතිය සම්බන්ධයෙන් අධිකරණයේ පිහිට පැතීමට සිදුවීම ගැන නම් ජාතියක් වශයෙන් අප කම්පා විය යුතුය. මම පියවි සිහියට පැමිණියෙමි.

“කුරුන්දි පුදබිම සමීපයෙහි නාගචෝල රක්‍ෂිතය දෙමළ අන්ත්‍රවාදීන්ගේ ග්‍රහණයට නතු කරගෙන මේ වෙනකොට අක්කර දහසකට වැඩි භූමි ප්‍රමාණයක් විනාශ කරලා තියෙනවා. ඒ කැලෑව කපමින් වගා කරන ප්‍රාදේශීය දේශපාලනඥයෙකුත් මේ උද්ඝෝෂණයට සම්බන්ධ වෙලා හිටියා. බෝඩ් උස්සගෙන වැඩියෙන්ම කෑමොර දුන්නේ ඒ මනුස්සයා. කුරුන්දි විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු ඔවුන්ගේ ඉඩම් මංකොල්ලයට මහා වදයක් වෙලා තිබුණා. නොයෙක් අයුරින් ඔවුන් අපට ගල් පෙරළීම් කළා. ඒත් අපේ අරමුණ යහපත් නිසා ඔවුන්ට අපිව නතර කරන්න බැරි වුණා. අපට තියෙන කනගාටුව මේ ප්‍රදේශයේදී අපි දකින කැලෑ විනාශය පුරාවිද්‍යා, වන සංරක්‍ෂණ නිලධාරීන්ට නොදැකීම. දැක, දැක නොදැක්කා වගේ සිටීම. මේක මහා විනාශයක්. ඒ නිසා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කොන්ද පණ ඇතිව වැඩ කළ යුතුයි. බෞද්ධ පින්වතුන්ගේ මුදල් සහ ආරක්‍ෂක අංශවල කොල්ලන්ගේ, අනෙකුත් පාර්ශ්වවල දහදිය, මහන්සියත් එක්ක සෙල්ලම් නොකර ඉන්න පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වගබලාගත යුතුයි. ඒ වගේම මේ අන්තවාදී ක්‍රියාකාරකම්වලට එරෙහිව ජාතියක් වශයෙන් අපි එකතු වෙන්න ඕනෑ. අපේ උරුමය, සොබාදහම ආරක්‍ෂා කරගැනීමට පක්‍ෂ භේද පසෙකලා එකමුතු වෙන්න ඕනෑ. ගහ, කොළ කැලෑව තිබුණොත් අපිට හුස්ම ටික ලැබෙයි. තව, තවත් හෙළ උරුමය ඉස්මතු වුණොත් පෞඪ ජාතියක් විදිහට අපේ රට ලෝකය ඉදිරියේ බැබලේවී…”

“බල්ලො බිරුවා කියලා කඳු පාත් වෙන්නේ නෑ. බුරන බල්ලො කන්නෙ නෑ කියලත් අපි දන්නවා. කුරුන්දි පුදබිම ප්‍රතිසංස්කරණය කරලා බෞද්ධ බැතිමතුන්ගේ වන්දනාවට පාත්‍ර කිරීම මගේ සිහිනයක්. ඒ සිහිනය මම සැබෑ කරනවා…”

ගල්ගමුවේ ශාන්තබෝධි අපේ නායක හාමුදුරුවන්ගේ ඒ වචනවලට ලේ රත් විය. අතීතයේ සිට මෙවැනි එඩිබල ස්වාමීන්වහන්සේ නොසිටින්න අපට උරුමයක් නැත. අහිගුණ්ඨික අන්තවාදීහු අපේ උරුමය කොල්ලකාගෙන හමාරය. එහෙත් තවමත් අන්තවාදී ක්‍රියාකාරකම්වල අඩුවක් නැත. සිංහල ජාතිය විනාශ මුඛයට තල්ලු කිරීමට දෙස්, විදෙස් අන්තවාදීහු විවිධාකාරයෙන් ක්‍රියාත්මක වෙමින් සිටිති. අපට දුක උන්ගේ උඩු බිරුම් හමුවේ මෙරට සිංහල බලධාරීන් සහ නිලධාරීන් නකුට නවාගෙන බිමට පාත්වෙන අයුරු දකින විටය. ඒ පෞරුෂයක් නොමැතිකමටද, ඩයස්පෝරාවේ හෝ වෙනත් රාජ්‍ය නොවන සංවිධානවල ඩොලර් කුට්ටි නිසාද කියා අපි නොදනිමු. කසේරුකාවක් නැති නිලධාරීන් සහ බලධාරීන් හමුවේ උරුමය පමණක් නොව එක වේලක් කුස පුරවාගෙන හෝ ජීවත්වීමට අපට කියා රටක් නැති වන දවස වැඩි ඈතක නැති බව නම් පැහැදිලිය.

  • තරංග රත්නවීර

About Author

Leave A Reply

Send this to a friend