උරතිරපුරම් දාගැබ කෝවිලක් වූයේ කෙසේද ?

උතුරු පළාතේ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ කරච්චි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ශිවනගර් නමින් දැන් හඳුන්වනු ලබන වසම අතීතයේ දී හඳුන්වන ලදදේ කුමන නමකින්ද යන්න වර්තමානය වන විට අපහැදිලිය. එයට හේතුව දහතුන්වන සියවසෙන් පසු උතුරු පළාත මත ඇතිවූ විදෙස් ආක්‍රමණ සහ පරංගි සමයෙන් පසු විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය පාලන සමයේ මලබාරයෙන් ගෙනවුත් පදිංචි කරන ලද දෙමළ ජනතාවගේ බලපෑම් නිසාය.උතුරු පළාතේ ඇතැම් සිංහල නම් ඒ අයුරින්ම දෙමළට හුරුවූ නමුත් බහුතරයක් ප්‍රදේශයන්ට සම්පූර්ණ දෙමල නම් ආදේශ වී තිබේ.පසුව මිනුම්දෝරු සිතියම් වලටද ඒවා ඇතුලත් කරතිබේ. ලංකා මැනුම කරන අවස්ථාවේ දී මිනුම්දෝරු දෙපාර්තමේන්තුවේ සේවය කළ දෙමළ නිළධාරීන් හිතාමතාම පැරණි සිංහල නම් අහෝසි කල බවට කතාවක්ද තිබේ.පෙරකී උරතිරපුරම් නාමය ඇති වන්නට හේතුව වන්නේ මේ විපිරියාසයයි.

          වර්තමානයේ ශිවනගර් යනුවෙන් හඳුන්වන ග්‍රමයේ පැරණි වැවක් අසල තිබී 1956 දී නශ්ඨාවශේෂ රාශියක් හඳුනාගන්නට යෙදුණි.ඒ අනුව එම පෙදෙස රජයේ ඉඩමක් ලෙසට සිතියම් වලට ඇතුලත් කර ඇත.1958 දී  පුරාවිද්‍යා කොමසාරිස්ව සිටි පී.ඊ.පී. දැරණියගල මහතාගේ පාලන වාර්තාවේ එම කටයුත්ත දක්වා ඇත්තේ මෙසේය.උතුරු පළාතේ උරතිරපුරම් ජනපදයේ තිබෙන දාගැබක් විනාශ කොට ඇති බවට වාර්තා වී තිබේ.උරතිරපුරම් වැව දක්වා මාර්ගයක් තැනවීමේදී කරන ලද සමතලා කිරීම් වලදී මෙම දාගැබ හඳුනාගන්නට යෙදී ඇත.පාර කැපීම වහාම නවත්වන ලදී.දාගැබ අසල ගල්කණු කීපයක්ද හඳුනාගන්නට යෙදී ඇත.නව කෝවිලක් මෙම නටබුන් අසලම දැනට ඉඳි කරමින් ඇත(A modern kovil is under conatruction ).කොවිලේ ගෙඩනැගිල්ල සඳහා අත්තිවාරම් කැපීමේ දී සිංහ හිස සහිත මැටි භාණ්ඩ කීපයක්  සහ පැරණි කාසි හමුව තිබේ.මෙම ස්ථානයේ දේවාලයක් ද තිබෙන්නට ඇතැයි සිතිය හැකිය.මෙම නටබුන් හඳුනාගන්නට යෙදුණද ස්ථානය පුරාවිද්‍යා ස්මාරකයක් බවට ගැසට් කරනු ලබන්නේ 2016 වසරේ දීය(අංක 1960/ 2016-03-24 ).ඒ වන විට ප්‍රදේශය ශිවනගර් ලෙසට නාමකරණය වී ඇති හෙයින් එම නමින්ම ගැසට්ටුවට ඇතුලත් වී තිබේ.

     ලංකාව විදේශ ආක්‍රමණයන්ට නතු වීම සිදුවන්නේ ඉතිහාසයේ දීර්ඝකාලයක සිටය . විශේෂයෙන්ම කාලිංග මාඝ සමය මෙන්ම චෝල ආක්‍රමණ සමය ඉතා ප්‍රබල විය. දකුණ ඉන්දියාව හරහා එල්ල වූ මෙම බලපෑම් නිසා හින්දු ආගමේ ආභාෂය ද නොමදව මෙම පළාත් වලට ලැබී තිබේ. නමුත් සිංහල සංස්කෘතියේ විවිධත්වය මත මෙම බලපෑම අවම කර ගැනීමට සමත්ව තිබෙන ආකාරය දැක ගන්නට හැකිය.උතුරේ පමණක් නොව දකුණේද විහාරස්ථාන ආශ්‍රීතව කතරගම විෂ්ණු කාලි දේවාල ඇති වන්නේ මේ නිසාය.උතුරු පළාතේ මෙම හින්දු බලපෑම නුවර කලාවිය ට  නොහොත් අනුරාධපුර දිස්ත්‍රික්කයට පවා දැනී තිබුණි. අදටත් රජරට ගම්වල පුල්ලෙයාර් නොහෙත් ඝණදෙවි රූප තැන තැන දක්නට ලැබනේනේ මේ නිසාය.හින්දු ආගමේ ඇදහීම් රාශියක් සිංහල සංස්කෘතිය විසින් උකහා ගැනීම මෙයට හේතුවයි.නමුත් එම බලපෑම් නිසා උතුර හෝ නැගෙනහිර ප්‍රදේශ දෙමළ ප්‍රදේශ යනුවෙන් දැක්වීමට හේතුවක් නිර්මාණය වන්නේ නැත.මන්ද හින්දු ආගම දෙමළ ජන වර්ගය සඳහා පමණක් වන ආගමක් නොවන බැවිනි. එය උතුරු ඉන්දියාවේ පවා තිබෙන පැරණිතම ඇදහිලි ක්‍රමයයි.

 මේ තත්වය එසේ වුවද බ්‍රිතාන්‍ය සමයෙන් පසුව උතුරු පළාත සිංහල ජනතාවගෙන් ඈත් වීමත් ද්‍රවිඩකරණයත් නිසා එහි පවතින සියලුම බෞද්ධ සිද්ධස්ථාන අසල දෙමළ කෝවිල් ඉඳි කරන්නට යෙදුණි. ඊට අමතරව ඇතැම් විහාරස්ථාන කඩා බිඳ දමා රෙපරමාදු පල්ලි ඉඳි කළ බවට බල්දෙයස් නම් පූජකයා වාර්තා තබා තිබේ.

     උරතිරපුරම් නම් පෙදෙසේ ශිව නගර් කෝවිල ඉඳි කරනු ලබන්නේ ද මේ ආකාරයෙනි.උරතිරපුරම් ආසන්නයේ එයට උතුරින් සපුමල් කුමරු විසින් ඉඳිකල පැරණි නල්ලූර් දේවාලයද පිහිටා තිබී ඇත.මේ නිසා උරතිරපුරම් නාමයේ යම් සංස්කෘත භාෂා විලාශයක්ද ගැබ්ව පවතින්නේ යැයි සිතිය හැකිය.1958 කාලයේ පටන් මෙම දාගැබ විනාශ වන්නට කටයුතු යෙදුණු බවට පුරාවිද්‍යා වාර්තා දක්නට ඇත. මෑත කාලයේ දාගැබ පවතින රජයේ ඉඩම දීමනා පත්‍රයක් මගින් කෝවිලට පවරා දී ඇත.උතුරු පළාතේ පවතින දැනට ශේෂව දක්නට ලැබෙන පුරාවස්තු අතර උරතිරපුරම් දාගැබ සහ නශ්ඨාවශේෂ ඉතා වැදගත් බැවින් ඒවා ආරක්ෂා කර ගැනීමේ අදිටනින් උතුරු පළාත් පුරාවිද්‍යා කාර්යාලය රජයට යෝජනාවක් ඉදිරිපත් කරනු ලබන්නේ 2020 වසරේ දීය. ඒ අනුව 2021 මාර්තු මාසයේ දී දාගැබ සංරක්ෂණ කටයුතු ආරම්භ කරලීමට කැණීම් කණ්ඩායම් පිටත් කර යැවිණ. නමුත් ‌කෝවිල් පාලක මණ්ඩලය මෙයට විරෝධය දක්වන ලද බැවින් දෙපාර්තමේන්තුවට කැණීම නතර කරන්නට සිදු විය. ඒ සම්බන්ධව කිලිනොච්චි පොලිසියට පැමිණිලි කොට ඇති අතර එම ඉල්ලීම දැනට උසාවියට ඉදිරිපත් කර තිබේ.

      මේ රටේ විවිධ ස්ථානයන්හි විවිධ පුරාවස්තු දක්නට ලැබේ. බොහෝ පුරාවස්තු බෞද්ධ සිද්ධස්ථාන ආශ්‍රිතව පවතින අතර ඒ වායේ යම් කැණීමක් හෝ අලුත් වැඩියාවක් කරන කල්හි එයට විරුද්ධව යෑමක් නැත. ඒ ස්ථානවල වැඩ වසන ස්වාමීන් වහන්සේලා ගේ සහයෝගයෙන් එම කැණීම් කරගෙන යනු ලබයි.නමුත් උතුරු සහ කැගෙනහිර පළාත් වල සිංහල නීතියක් බල පැවැත්වෙන්නේ නැත. යම් පැමිණිල්ලක් පුද්ගලයෙකුට විරුද්ධව ඉදිරිපත් කළද ආණ්ඩුවේ නිළධාරීන්ට එරෙහිව ඉදිරිපත් කළද උසාවි වල තීන්දු ලබා දෙන්නේ දෙමළ පාර්ශවයට වාසි සහගත වන ආකාරයෙනි.ගුරුකන්ද රජමහා විහාර සිද්දියේ දී ඒ බැව් මනාව පැහැදිලි විය.උසාවියේ නඩු අසන්නේ දෙමළ භාෂාවෙනි. සිංහල පාරිවර්තනයක් ලැබෙන්නේ නැත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවා සිය ඉල්ලීම් සහ වාර්තා ඉදිරිපත් කරනු ලබන්නේ ඉංග්‍රීසි භාෂාවෙනි.මේ නිසා සාධාරණයක් බලාපොරෙත්තු විය හැකි නොවේ. පසුගිය යහ පාලන සමයේ දී මේ තත්වය උග්‍ර වුණු අතර රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝගය මත පුරාවිද්‍යා ස්ථාන ගැසට් කිරීම  පවා වැලැක්විණ.

       වර්තමාන රජය බලයට පත් වූ පසු මේ තත්වය වෙනස් වන බවට ප්‍රාර්ථනාවක් තිබුණි.නමුත් මේ වන තුරු එලෙස සිදු වන බවක් පෙනෙන්නට නැත. උරතිරපුරම් සිද්දියේ දී කිලිනොච්චි පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ධරන් දක්වන විරෝධය හමුවේ වර්තමාන ජාතික උරුම අමාත්‍යවරයා වන විදුර වික්‍රමනායක මහතාට සාධාරණ පිළිතුරක් ලබා දිය හැකිය.මෙහිදී පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් තුමාගේ වගකීම විය යුත්තේ මෙම ප්‍රශ්ණය උසාවිය ට ඉදිරිපත් කිරීම නොව පොලිස්පතිට සහ නීතිපතිට මෙන්ම අදාල අමාත්‍යවරායටද දන්වා කැණීම කරගෙන යෑමට නීතියේ ආරක්ෂාව ලබා ගැනීමයි. නමුත් අභ්‍යන්තරව පවතින ගැටළු වලට විසඳුම් ලබා දීම ලෙහෙසි පහසු නොවේ. එයට හේතුව උතුර සහ නැගෙනහිර පළෘතට අනන්‍ය වූ මේ ප්‍රශ්ණ ලිහා ගැනීමට විධායකයේ මැදිහත් වීම අත්‍යවශ්‍ය බැවිනි.

 දැනට පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනය වෙමින් පවතින අතර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්ද සැකසෙමින් පවතී.විශේෂයෙන්ම රටේ ප්‍රධාන රාජ්‍ය භාෂාව වන සිංහල  සෑම ප්‍රදේශයකම රාජ්‍ය භාෂාව බවට පත් වීම අනිවාර්ය කරුණකි.එසේම පළාත් සභා අහෝසි කිරීමත් පොලිස් බලතල ලබා දීම අත්හිටුවීමත් සිදු විය යුතුය.

උපුටාගැනීම – http://seneviruwan.blogspot.com

 58 total views,  2 views today

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments