ජනතාව කැප වුණත් මැති ඇමැතිවරුන් ඇතුළු පාලකයන්ගෙන් එවන් පරිත්‍යාගශීලී බවක් නෑ

දිනෙන් දින ඉහළ යන බඩු මිල ඇතුළු ආර්ථික අපහසුතා මධ්‍යයේ ජනතාව දැඩි ඉවසීමෙන් කටයුතු කළත් මැති ඇමැතිවරුන් ඇතුළු පාලකයන්ගෙන් එවන් පරිත්‍යාගශීලී බවක් තමන් වහන්සේ නොදකින බව ඇල්ලේ ගුණවංශ හිමියෝ පැවසූහ

නත්තල, වෙසක් උත්සවය වැනි සමාජ බැඳීම් ඇති ජාතික උත්සව කිහිපයක් කොරෝනා වසංගත තත්ත්වයට යටවූවත් ඉදිරියේදී පැමිණෙන සිංහල සහ හින්දු අලූත් අවුරුද්ද හෝ යම්තාක් දුරකට සැමරීම වෙනුවෙන් ජනතාවට සහන ලබා දීමට රජය පියවර ගත යුතු බව ද උන්වහන්සේ සඳහන් කළහ.
  බඩු මිල අඩු කර ජනතාවට සහන ලබාදීම වෙනුවෙන් යාන්ත‍්‍රණයක් ඇති කර යම් මෙහෙයුමක් ආරම්භ කළ යුතුව ඇතැත් ඒ වෙනුවෙන් පෙරමුණ ගැනීමට රජය අපොහොසත් වීම තුළ ජනතාව අසරණ භාවයට පත්ව ඇතැයි ද ගුණවංශ හිමියෝ පැවසූහ.
  රජය මගින් මිල අඩු කරනු ලබන ඇතැම් අත්‍යවශ්‍ය භාණ්ඩ සතොස මගින් ලබාදෙන බව කීවත් රට පුරා සතොස ශාඛා නොමැති වීම නිසාත් තිබෙන ඒවායේදී රජය අඩු කළා යැයි කියන මිලට භාණ්ඩ නොමැති වීමත් නිසාත් ගම්වල වෙසෙන පරිප්පු, සම්බෝල සමඟ බත් කන අහිංසක දුප්පත් ජනතාව අද ඉන්න අසරණ භාවයට පත්ව ඇති බව ද උන්වහන්සේ පැවසූහ.
  ගැසට් ගසා සහල් මිල අඩු කර ඇතැයි පැවසුවත් එම පාලන මිලට සහල් නොමැති වීම දරාගත නොහැකි දුකක් බවට පත්ව ඇතැයි ද කී උන්වහන්සේ රජයේ වගකිවයුතු පිරිස මෙ ප‍්‍රශ්නය අතට ගෙන රට වැසියාගේ
  දරු පැටව් ජීවත් කරවීම වෙනුවෙන් සැලැස්මක් නිසි කළමනාකරණයක් සහ යාන්ත‍්‍රණයක් ඇති කළ යුතු බව ද අවධාරණය කළහ.
  රට තුළ අද ඇති වී තිබෙන ප‍්‍රශ්න කීමට කෙනෙකු නොමැති වීමත් එයට වගකිවයුතු අයිතිකාරයකු නැති වීමත් තුළ මැතිවරණවලදී පෙනී සිටි මහ වියතුන්, බුද්ධිමතුන් මේ මොහොතේ ඉදිරියට පැමිණ ‘වැඩ’ පෙන්විය යුතු මොහොත එළැඹ ඇතැයි ද උන්වහන්සේ පැවසූහ.
  රජය පත් කිරීම වෙනුවෙන් දර දිය ඇද්ද කිසිවකුට අද සහනයක් ලැබී නැති බවත් කී ඇල්ලේ ගුණවංශ හිමියෝ අද වනවිට රටේ කිසිම ආයතනයක් පිළිබඳව පසු විපරම් කිරීමක් සිදු නොවන බව ද වැඩිදුරටත් කියා සිටියහ.

 74 total views,  2 views today

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments