වී මෝල් වසා දැමුවත් මේ වසරේදී කිසිලෙසකින් වත් සහල් මිල වැඩි කිරීමට ඉඩදෙන්නේ නැහැ
සහල් මාෆියාවේ නිරත සිව් දෙනකු ගොවියාගේ වී අස්වනු මිලදී ගෙන එක් කන්නයකදී රුපියල් බිලියන 50 ත් 100 ත් අතර මුදලක් අසාධාරණ ලෙස උපයන බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ පැවසුවේය. වී මෝල් වසා දැමුවත් මේ වසරේදී කිසිලෙසකින් වත් සහල් මිල වැඩි කිරීමට ඉඩ නොදෙන බව ද ඇමැතිවරයා කියයි.
කෘත්‍රිම සහල් හිඟයක් ඇති කිරීමට උත්සාහ දැරුවහොත් රජයේ වී සංචිතවලින් සහල් නිෂ්පාදනය කර සතොස සහ සමුපකාර සමිති මගින් නාඩු කිලෝවක් රුපියල් 94 කටත්, සම්බා කිලෝවක් රුපියල් 99 කටත් අලෙවි කිරීමට කටයුතු කරන බවද හෙතෙම කියා සිටී.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඊයේ (22 වැනිදා) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මේ බව කීවේය. මෙම අවස්ථාවට රාජ්‍ය ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ ද සහභාගි විය.
මෙවර මහ කන්නයේ හෙක්ටයාර් හත්ලක්ෂ හැටහතර දහසක වී වගාකර තිබෙන බවත් ඒ අනුව මේ වසරේදී සහල් අපනයනය කිරීමටද හැකිවෙතැයිද ඇමැතිවරයා කීවේය. “රජය සහල් සංචිතයක් තබා ගන්නවා කියන විට සහල් මාෆියාවේ සිටින පිරිස බයවී සිටිනවා. අපි රුපියල් 50ක සහතික මිලට වී මිලදී ගනිද්දී ඒ අය ගිහින් රුපියල් 54 ට වී කිලෝව මිලදී ගන්නවා. මේ මාෆියාවේ නිරතව සිටින අය කරන්නේ වී නිෂ්පාදනයෙන් සියයට 75 ක් 80 ක් මිලදී ගන්න එක.
අන්තිමට සියයට 5ක් නැත්නම් 10ක් රුපියල් 65 ක වැඩි මිලකට මිලදී ගන්නවා. එම වැඩි මිල පෙන්වාදෙමින් ආණ්ඩුවට බල කරනවා සහල් නිෂ්පාදනයට වැඩි මුදලක් වැය වෙනවා, ඒ නිසා සහල් කිලෝව රුපියල් 125 ට දෙන්න ඕනේ කියලා. එහෙම කරලා රුපියල් 65 මිලදීගත් 5% හෝ 10% අමතරව රුපියල් 54ට ගත් 75% හෝ 80% මිල වැඩි කර විකුණමින් රුපියල් බිලියන ගණනක වංචාවක් සිදුකරනවා.
අද වී මෝල් හිමියෝ සුදනෝ වගේ මාධ්‍ය ඉදිරිපිටට ඇවිත් කතාකරනවා. එහෙත් මෙවර අහිංසක ගොවියාගේ බඩට තට්ටු කිරීමට නොහැකි බව මහා පරිමාණ වී මෝල් හිමියන් තුන් හතර දෙනාට දැනිලා තිබෙනවා.
රුපියල් 50 කට වී මිලදී ගත්තොත් හාල් කිලෝව රුපියල් 93
රුපියල් 55 කට වී මිලදී ගත්තොත් හාල් කිලෝව රුපියල් 101
රුපියල් 60 කට වී මිලදී ගත්තොත් හාල් කිලෝව රුපියල් 111
අපි ගොවියාට වී කිලෝව සඳහා ලබා දෙන්නේ ඉතා සාධාරණ මිලක්. ගොවියාට වී කිලෝවක් නිෂ්පාදනය කිරීම සඳහා වැය වන්නේ රුපියල් 25 ත් 30 ත් අතර මිලක්.”යැයිද ඇමැතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
46 total views, 4 views today