අධිකරණ ඇමැතිට පුද්ගල නීති වූ නීතිය ගැන අවම හෝ දැනුමක් ඇත්තෙකුටත් අවබෝධ වන අතීතයේ සිට අද දක්වා පැවතෙන නීති

බෞද්ධ විහාර හා දේවාලගම් පනත සහ සෙසු ආගම්වලට අයත් ආයතන සම්බන්ධයෙන් පනවාතිබෙන පනත් පුද්ගල නීති ලෙස හුවා දක්වමින් අධිකරණ ඇමැතිවරයා පාර්ලිමේන්තුවේ කළ කතාව කෙරෙහි අවධානය යොමුකර ඒ පිළිබඳ කඩිනමින් පියවරක් ගන්නා ලෙස මහා සංඝරත්නය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත.

ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම, ඕමාරේ කස්සප, බෙංගමුවේ නාලක , බලංගොඩ සෝභිත, ඉත්තදෙමලියේ ඉන්දසාර, මහාචාර්ය මැදගොඩ අභයතිස්ස, මුරුත්තේට්ටුවේ ආනන්ද, ඇල්ලේ ගුණවංශ, මහාචාර්ය මල්වානේ චන්දරතන, ආචාර්ය කපුගොල්ලෑවේ ආනන්ද කිත්ති සහ වැලමිටියාවේ ඥානරතන ඇතුළු මහා සංඝරත්නය මෙම ලිපියට අත්සන් තබා තිබේ.

අධිකරණ ඇමැති මොහොමඩ් අලි සබ්රි බෞද්ධ විහාර හා දේවාලගම් පනත, පුද්ගල නීතියක් බව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇතැයිද පුද්ගල නීතියක් යනු යම් ජන කොට්ඨාසයකට ඊට අයත් එම කොට්ඨාසයට අයත් ජනතාවට පමණක් පොදූ වූ සාධකයන් මත අදාළ වන සේ පනවන ලද නීතියක් බවත් මහා සංඝරත්නය පෙන්වා දෙති. නීතිවිද්‍යාලයේ හා විශ්වවිද්‍යාලයේ නීති සිසුන්ට නිර්දේශිත ග්‍රන්ථයක් වන මහාචාර්ය එල්.ජේ.එම්. කුරේගේ ශ්‍රී ලංකාවේ නීති ක්‍රමයට හැඳින්වීමක් (AN INTRODUCTION TO THE LEGAL SYSTEM OF SRI LANKA) යන ග්‍රන්ථයේ සඳහන් වන ආකාරයට පුද්ගල නීතිය, යන්නට ඇතුළත් වන්නේ උඩරට නීතිය, තේසවලාමේ නීතිය හා මුස්ලිම් නීතිය පමණි. ඉන් උඩරට නීතිය හා තේසවලාමේ නීතිය ප්‍රාදේශීය නීති, වශයෙන් ද සැලකෙන බැවින් වචනයේ අර්ථයෙන් ම පුද්ගල නීතියක් ලෙස හැඳින්විය හැක්කේ මුස්ලිම් නීතිය පමණක් බව එහි පැහැදිලිව දක්වා ඇතැයි මහා සංඝරත්නය පවසති.

අලි සබ්රි සඳහන් කරන ලද බෞද්ධ විහාර හා දේවාලගම් පනත, වකුෆ් පනත (නිවැරදි ලෙස මුස්ලිම් පල්ලි හා පුණ්‍යාධාර හෝ වකුෆ් පනත), චර්ච් ඔෆ් සිලෝන් (ශ්‍රී ලංකා කතෝලික දේවස්ථාන පිළිබඳ පනත) හා හින්දු සංකෘතික අරමුදල් පනත මූලිකව බෞද්ධ විහාරස්ථාන, මුස්ලිම් පල්ලි, කතෝලික පල්ලි හා දේවස්ථාන හා හින්දු දේවස්ථාන හා ඒවායේ මූල්‍ය පරිපාලනය පිළිබඳව පනවන ලද නීති වේ. එබැවින් ඒවා පුද්ගල නීති යන අර්ථයට නොවැටෙන බව නීතිය සම්බන්ධයෙන් අවම හෝ දැනුමක් ඇත්තෙකුට වුවද අවබෝධ කරගත හැකිය. ව්‍යවස්ථාදායකය එම නීති පනවා ඇත්තේ එම ආගමික ස්ථාන සම්බන්ධයෙන් යම් නියාමනයක් හා පාලනයක් පවත්වාගෙන යාමට වේ. එසේ තිබිය දී පුද්ගලික නීති මුවාවෙන් එවැනි ආගමික ආයතන හා ඒවායේ මූල්‍ය පාලනයට බලපාන නීති අහෝසි කළහොත් සිදුවන ඛේදනීය තත්ත්වය පිළිබඳව අවම අවබෝධයක් හෝ නොමැති තැනැත්තකු මෙවන් වගකිව යුතු ඇමැති ධුරයක් දැරීම ඉතා කනගාටුදායක තත්ත්වයක් බවද උන්වහන්සේලා පෙන්වා දී ඇත.

 34 total views,  2 views today

0 0 vote
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments