පාස්කු කොමිසන් සභා වාර්තාව සහ තීන්දු තීරණ අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයවත් සමත් නැති පස් හයදෙනකුට වෙනස් කරන්න දෙන්න බැහැ

කටාන කටුවාපිටිය දේවස්ථානයට අනුබද්ධ බැතිමතුන්, එම ප‍්‍රහාරයෙන් තම ඥාති මිත‍්‍රාදීන් අහිමි වූවන් සහ ප‍්‍රදේශවාසීන් විසින් කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය අභියස රජයට විරෝධය දක්වමින් පැවැති උද්ඝෝෂණය පවතිණ.

එහිදී රැස්ව සිටි විරෝධතාකරුවන් සහ උද්ඝෝෂකයන් අමතමින් අගරදගුරුතුමන් මෙසේද පැවසීය.

මා හැම විටම ඉන්නේ පාලක පක්‍ෂය සමඟ නොවෙයි. ජනතාවත් සමඟයි. පාස්කු කොමිසන් සභා වාර්තාව එළිදැක්වූවේ උගත් කොමසාරිස්වරුන් 5 දෙනකු එක්වී පූර්ණ පරීක්‍ෂණයක්, විමර්ශනයක් කිරීමෙන් පසුවයි. එම තීන්දු තීරණ අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයවත් සමත් නැති පස් හයදෙනකුට වෙනස් කරන්න දෙන්න බැහැ. පාස්කු කොමිසමේ වාර්තාව ගැන තීන්දු තීරණ ගන්න කොමිටිවලට බලයක් නැහැ. ඒ තීන්දු තීරණ රටට හෙළිදරව් කිරීමට සිටින එකම සුදුස්සා නීතිපතිවරයයි.

ජනාධිපතිතුමා මැතිවරණයට පෙර ජනතාවට කිව්වා පාස්කු ප‍්‍රහාරයේදී මියගිය, ආබාධිත, තුවාලකරුවන්ට සහ අසරණයන්ට සාධාරණයක් ඉටු කරන බව. එය පිළිගත් ජනතාව එතුමාව ජනාධිපති පදවියට පත් කළා.

කොමිසන් වාර්තා ක‍්‍රියාත්මක කරන්න යැයි කොමිටියක් පත් කරන්නෙ කොමිසන් වාර්තාවෙ කොටසක් හෙළිදරව් කිරීම වැළැක්වීමටයි.

පත්කරන කොමිටි කොමිසන් වාර්තාවෙන් කොටසක් යටපත් කිරීමට සූදානම් බව අපත් ජනතාවත් තේරුම් ගෙන සිටිනවා. මෙහිදී වැරදි කළ පුද්ගලයන් බේරා ගැනීමට අවශ්‍යව ඇත්තේ කාට දැයි දැන ගැනීමට ජනතාව සූදානමින් සිටිනවා. එය දැන ගැනීම ජනතාව සතු අයිතියක්. අපි සභාවක් විදිහට කොමිසන් සභා වාර්තාව හොඳ හැටි අධ්‍යයනය කර තිබෙනවා. මෙම ම්ලේච්ඡු ප‍්‍රහාරයේ වගකිව යුත්තන්ට එරෙහිව රජය දැඩි ක‍්‍රියාමාර්ග නොගතහොත් අපි ජාත්‍යන්තරයට ගොස් අපේ අයිතිවාසිකම් වෙනුවෙන් ඉදිරිපත් වනවා.

පාස්කු කොමිසමේ සම්පූර්ණ වාර්තාව වහා ප‍්‍රසිද්ධ කළ යුතුයි. මහජනතාවට එම වාර්තාව දැන ගන්න ක‍්‍රම ගොඩාක් තියෙනවා. අන්තර්ජාලය, පුවත්පත් මගින් සම්පූර්ණ කොමිසන් සභා වාර්තාව දැක ගන්න පුළුවන්. මෙම නින්දිත ක‍්‍රියා මෙහෙයවූ සහභාගි වූ, ආධාර අනුබල දුන් අයට නීතිමය ක‍්‍රියාමාර්ග ගන්න නීතිපතිවරයාට බලය ලැබී තියෙනවා. නීතිපතිවරයාට ඒ ගැන ජනාධිපතිගෙන් උපදෙස් ලබා ගන්න අවශ්‍ය නැතැයි කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා වැඩිදුරටත් පැවසීය.

අපේ රටේ නායකයන්ට පිටකොන්දක් තියෙනවා කියලා අපි හිතනවා. එසේ නම් උගත් විනිශ්චයකාරවරුන්ගෙන් සැදුම්ලත් කොමිෂන් සභාව දුන් තීන්දු අධ්‍යයනය කිරීම සඳහා ඕ ලෙවල් පාස් නැති කණ්ඩායමක් පත්කළේ ඇයි දැයි ​කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි ප්‍රශ්න කර සිටියේය.

කටුවපිටිය ජනතාව බෝම්බ ප්‍රහාරයේදී සිදු වූ විනාශයට සාධාරණත්වයක් කරන ලෙස රජයෙන් ඉල්ලා පෙරේදා (20 වැනිදා) කටුවපිටිය දේවස්ථානය ඉදිරිපිට කළ නිහඬ උද්ඝෝෂණ අවස්ථාවේදී ජනතාව ඇසූ ප්‍රශ්නවලට උත්තර දෙමින් උන්වහන්සේ එසේ ප්‍රකාශ කළහ.

කාදිනල් හිමියෝ මෙසේද පැවැසූහ.

නව ජනාධිපතිතුමා බලයට පත්වුණාට පස්සේ එතුමන්ට අපි කිව්වේ මේ කොමිසම් සභාව විනිවිද පේන විදිහට මේ පරීක්ෂණ පවත්වලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්ද පරීක්ෂණ කරලා සාධාරණත්වයක් ඉෂ්ට කරලා දෙන්න කියලයි.

ඒ අනුව අපි එතුමාට බලය දුන්නා එතුමාගෙන් අපි බලාපොරොත්තු වන්නේ මේකට සාධාරණත්වයක් ඉෂ්ට කරයි කියලා මේ බෝම්බ ප්‍රහාරයට උදව් කරපු එකට පිටුපස්සේ ඉන්න කවුද කියලා හොයා ගන්න කියලා මම හැමතිස්සෙම කිව්වා. දෙවැනි එක මේ බෝම්බ ප්‍රහාරය ගැන දැන දැනත් ඒක ගැන කිසිම දෙයක් කරන්නේ නැතුව 269 දෙනෙක්ව මරන්න ඉඩදීලා ඒ වගේම පන්සිය ගණනක් තුවාල කරලා එකසිය ගාණක් විතර අංගවිකලයන් බවට පත්කරපු ඒ මහා විනාශය පිටුපස්සේ හිටපු අය විතරක් නෙමෙයි මේක වසන් කරන්න හදපු අය ගැනත් පරීක්ෂණ පවත්වන්නේ නැතුව මේ ගැන අවවාද හා අනුශාසනා ලැබිලා තිබෙන විට කටයුතු නොකරපු නිලධාරීන්ට දඬුවම් කරන්න ඕනෑ කියලයි අපි එදා කිව්වේ. එවිට ජනාධිපති අපට පොරොන්දුවක් දුන්නා.

ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ එක එක බලවේගවලට බයවෙන්නේ නැතුව මේ වාර්තාව එළිදරව් කරන්න කියලා. වාර්තාව පළමුවෙන්ම ජනතාවට එළිදරව් කරන්න අපට ලබාදෙන්න කියලා මම එතුමාට ලියුමක් ඇරියා. ඒක ලැබෙනකම් අපි බලාගෙන ඉන්නවා. එසේම අපි කිව්වා මේක ජනතාවට එළිදරව් කරන්න කියලා. මේ වාර්තාව මුද්‍රණය කරලා බෙදාහරින්න ඕනේ. ඒක ලොකු දෙයක් නෙමෙයි. ඉන්ටනෙට් තියෙනවා පළකරන්න පුළුවන්. වෙබ් එක තියෙනවා පත්තර තියෙනවා මෙලෙස මාධ්‍ය හරහා මේක දැනුවත් කරන්න කියලා අපි ඉල්ලීම කළා. එසේ නැතුව මෙම කොමිෂන් සභා වාර්තාව නැවත අධ්‍යයනය කිරීමට වෙන වෙන කොමිටි පත්කරලා වැඩක් නැහැ. කොමිටිවලින් කරන්න හදන්නේ මේකේ තියෙන සමහර යෝජනා යටපත් කරලා වෙනත් යෝජනා ඉස්සරහට ගන්න කටයුතු කරන එකයි. අපිට කොමිෂන් සභාව ඉදිරිපත් කරලා තියෙන හැම යෝජනාවක්ම ඉදිරිපත් කරන්න. ක්‍රියාත්මක කරන්න. කටයුතු කරන්න ඕනෑ කියලයි අපි ඉල්ලා සිටින්නේ. අපි සිතනවා අපට පිටකොන්ද තියෙන නායකයෝ සිටිනවා කියලා. එම පිටකොන්ද තිබෙන නායකයෝ වැඩකරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා අපි කරන එකම ඉල්ලීම එයයි.

ඊට පස්සේ මේ ලියවිල්ලේ තිබෙන දේවල් අපිත් අධ්‍යයනය කරලා අපේ ක්‍රියාදාමයට යනවා. රජය ක්‍රියාත්මක වන්නේ නැත්නම් අපි වෙනත් ක්‍රියාදාමයකට යන්න සූදානම්. හැබැයි ජනතාවත් සමගයි ඒ වගේම අපේ කතෝලික සභාවේ ජාත්‍යන්තර සංවිධාන හරහා ​මේ ගැන පෙනී සිටින්න කතා කරන්න ඉදිරිපත් වෙනවා. ඒක වෙනස් කරන්න කාටවත් බෑ. හොඳට වැඩකරනවා නම් අපි ඒකට ප්‍රශංසා කරනවා. වැරදි කරනවා නම් විවේචනය කරනවා. ජනාධිපති කොමිසම පත් කළේ පූර්ණ බලතල ඇතිව නිර්දේශ ඉදිරිපත් කරන්න. ඒ ගොල්ලෝ නිර්දේශ ඉදිරිපත් කරලා තියෙනවා නම් මේ ඉදිරිපත් කරලා තිබෙන හයදෙනාගේ මණ්ඩලය කුමටද? ඒක තමා අපිට තිබෙන සැකය.

 40 total views,  2 views today

0 0 vote
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments