උතුරේ හා ඉන්දියාවේ ඉතිහාසඥයෝ රවිහරන් සමග එක්ව යූප ගලක් ලිංගයක් කරන්න උත්සාහයක

මුලතිව්” කුරුඳුමලේ ප‍්‍රදේශයෙන් හමු වී ඇත්තේ පැති අටකින් යුත් යූප ගලක් ** ශිව ලිංගයක් බව ලෙස වටහා ගැනීම නිසා එම ස්ථානයේ ශිව කෝවිලක් ඉදිකොට පළාතේ හින්දු ජනතාවට වන්දනාමාන කිරීමට අවස්ථාව සලසා දෙන ලෙස මුලතිව් ප‍්‍රාදේශීය දේශපාලනඥයකු වන ටී. රවිහරන් හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරයා දිසාපති කාර්යාලයෙන් ඉල්ලීමක් කොට තිබේ.

මේ ස්ථානයෙන් හමු වී ඇත්තේ බෞද්ධ නටබුන්වලට අනුව යූප ගලක් බව පුරාවිද්‍යා නිලධාරීන් ඇස් මට්ටමේ පරීක්ෂාවකින් පවසයි. එසේ තිබියදී එහි සැබෑ පසුබිම පිළිබඳව උතුරේ හා ඉන්දියාවේ ඉතිහාසඥයෝ එය ශිව ලිංගයක් බව ප‍්‍රකාශ කරන බවත් හින්දු ජනතාවට ඒ ස්ථානයේ කෝවිලක් ඉදි කිරීමටත් වන්දනාමාන කිරීමටත් අවස්ථාව හිමි වියයුතු බව උතුරු පළාත් සභාවේ ටී. රවිහරන් හිටපු මන්ත‍්‍රීවරයා ලිපියක් මගින් දිසාපතිවරයාව දැනුවත් කොට තිබේ.

මේ ස්ථානය අතීතයේදී ආදී ශිවන් අයියනාර් කෝවිල වශයෙන් හැඳින් වූ ප‍්‍රදේශය වන බව සඳහන් කරන හිටපු මන්ත‍්‍රීවරයා යුද්ධයෙන් එම කෝවිල විනාශ වූ පසුව නටබුන් වී ඇති බවද ලිපියේ සඳහන් කොට ඇත. දිසාපතිවරයාට යොමු කළ ලිපිය මේ වන විට මුලතිව් සංස්කෘතික නිලධාරීවරයා වෙත යොමු කොට වාර්තාවක් කැඳවා තිබේ.

ලංකාවේ බොහෝ බෞද්ධ සිද්ධස්ථාන වල සිදුකරන කැනීම් වලදී පැති අටකින් යුත් යූප ගල් හමුවී ඇතිබව පුරාවිද්‍යා වාර්තා වල සදහන් වේ. එසේ තිබියදී හිටපු මන්ත්‍රී වරයා මෙසේ බෞද්ධ නටබුන් හා ඉතිහාස සලකුණු වසාදමමින් එම ස්ථානයේ නව ඉදිකිරීම් සිදුකිරීමට ඉල්ලුම් කිරීම කණගාටුවට කරුණකි.

———-
(**)යූප ගල හෙවත් යූපස්ථම්භය
මොකක්ද මේ යූපගල ?
====================

පුරාණ ස්තූපයන්හි ස්වරූපය, අකෘතිය සහ ගරාවැටුණු පැරණි ස්තූප පිළිබඳව තොරතුරු ඉදිරිපත් කිරිමේදී “යූප ගල”, “යූපස්ථම්භය” යන වදන් නිරන්තරයෙන් අසන්නට ලැබේ. මෙසේ පැරණි ස්තූපයන්හි අන්තර්ගතව තිබූ මෙම “යූපස්ථම්යභය” වනාහි ස්තූප ගර්භයෙන් ආරම්භව සිරස්ව, සතරැස් කොටුව හරහා උඩට නෙරා පැවති වු ශෛලමය ස්ථම්භයකි. එනම් මෙම “යූප ගල” නොඑසේනම් “යූපස්ථ්ම්භය” යනු පැරණි ස්තූපයන්හි දක්නට ලැබෙන ස්තූප අංගයක් ලෙස හැඳිනගත හැකිය.

අතීතයෙදී පැවති පැරණි ස්තූප ආකෘතිය, වර්තමානයේ දක්නට ලැබෙන පේසාවන්, ගර්භය, හතරැස්කොටුව, දේවතාකොටුව සහ කොත්කැරැල්ල යන අංගයන්ගෙන් වෙනස්ව නිර්මාණය වූ ආකෘතියකි. විශේෂයෙන්ම ස්තූපයන්හි උපරිභාගය මෙසේ පැහැදිලි වෙනස්කම්වලින් යුක්තව පැවතීය. ඒ අනුව පැරණි ස්තූප ආකෘතිය තුළදී ස්තූපයන්හි උපරිභාගයේ , වර්තමානයේදී දක්නට ලැබෙන සතරැස්කොටුව, දේවතාකොටුව සහ කොත්කැරැල්ල වෙනුවට වෙනුවට ගරාදි වැටකින් යුත් සතරැස් වේදිකාවක්, චත්‍ර දණ්ඩක් සහ ඒ මත වූ චත්‍ර සහ යූපස්ථම්භයක් විය . පසුකලකදී, ගරාදි වේදිකාව සහිත කොටස වෙනුවට සතරැස් කොටුව ද, චත්‍ර සහිත දණ්ඩ වෙනුවට කොත් කැරැල්ල ද ආදේශ වී ඇති අතර වත්මනෙහි දේවතාකොටුව නමින් හඳුන්වනු ලබන වෘත්තාකාර කොටස යනු,පැරණි ආකෘතියේ දක්නට ලැබෙන යූපස්ථම්භයෙහි ශේෂයක් යැයිද විද්වතුන් අතර මත පවතී.

අභයගිරිය, මිරිසවැටිය වැනි විශාල ස්තූපයන්ගේ පටන් ලංකාවෙ දක්නට ලැබෙන පැරණි යුගයනට අයත් ස්තූපයන් බොහෝමයක් ආශ්‍රිතව මෙවැනි ආකාරයේ වූ ශෛලමය ස්ථම්භයන් දක්නට ලැබේ. වර්තමානයේදී එම ශෛලමය ස්ථම්භ, ස්තූප මළුව හෝ මළුව ආශ්‍රිතව දක්නට ලැබුණත් අතීතයේදී එම ස්ථම්භයන් ගර්භයේ සිට සිරස්ව ඉහළට නංවා පැවති බවට සාධක හමුවේ. වර්තමානයේදී සංරක්ෂණය කරමින් පවතින, ක්‍රිස්තු පූර්ව යුගය දක්වා අතීතයකට දිවයන විශාල පරිමාණයේ ස්තූපයක් වන ලාහුගල නීලගිරි මහා සෑයේ ගරාවැටුණු ස්තූප මුදුනෙහි මෙවැනි විශාල ප්‍රමාණයේ ශෛලමය ස්ථම්භයක් හමුවේ. එසේම ස්තූපයන්හි ප්‍රමාණය අනුව මෙම යූපස්ථම්භය ලෙස හඳුන්වනු ලබන ස්ථම්භයේ ප්‍රමාණයද විචලනය වන බවද විවිධ ස්ථානයහිදී හමුවන යූපස්ථම්භයන් අනුව පෙනී යයි.

යූපස්ථම්භයේ හැඩය පිළිබඳව අවධානය යොමුකිරීමේදී පෙනී යනුයේ එම ස්ථම්භය සතරැස් සහ අෂ්ටාශ්‍රාකාර හැඩයන්ගෙන් යුක්ත බවයි. ඒ අනුව ස්ථම්භ පාදමේ සිට යම් උස ප්‍රමාණයක් යන තෙක් සතරැස් හැඩයෙන්ද , එතැන් පටන් ස්ථම්භ මුදුන තෙක් අෂ්ටාශ්‍ර හැඩයෙන්ද යුක්ත වේ. මෙම අෂ්ටාශ්‍රාකාර කොටසේ ආරම්භයත් සමඟ ඇරඹෙන ඍජු දාරයන් අටක් ටැඹ මුදුනේ වක්‍ර වූ පෘෂ්ඨයේදී එකට එකතුවෙන ආකාරයක් පොදුවේ බොහෝ යූපස්ථම්භයන්හි දක්නට ලැබේ.

යූපස්ථම්භයේ ප්‍රභවය පිළිබඳව අවධානය යොමුකිරීමේදී පෙනී යනුයේ, මෙම “යූපස්ථම්භය” වනාහි භාරතීය ප්‍රභවයක් සහිත අංගයක් බවයි. ලංකාවේ පැරණි ස්තූපයන්හි පමණක් නොව භාරතීය පැරණි ස්තූපයන්හි පවා මෙවැනි ආකාරයේ ස්ථම්භ පැවති බවට මහැදුරු සෙනරත් පරණවිතානයන් සිය “The Supa in Ceylon” කෘතියේ තොරතුරු ඉදිරිපත් කරනුලබන අතර මෙම ස්ථම්භය හැඳින්වීම සඳහා භාවිතාවන “යූප” නැමැති වචනය පිළිබඳව විවරණයක යෙදෙන මහැදුරු සෙනරත් පරණවිතානයන්, එම වදන පුරාණ වෛදික යුගය දක්වා අතීතයකට රැගෙන යනු ලබයි. ඒ අනුව වෛදික සාහිත්‍යය තුළදී, “යූපය” යනු සතුන් බිලි දීමේදී බිල්ල බැඳතබන කණුව ලෙස හඳුන්වා ඇති අතර ඒ අනුව ස්තූපයන්හි යූප පිහිටුවීම වනාහි, භාරතීය ප්‍රාග් බෞද්ධ යුගයේ ආගමික පිළිවෙතක් බෞද්ධයන් විසින් නව මුහුණුවරකින් පවත්වාගෙන ඒමක් ලෙස හඳුන්වනු ලබයි.

මේ අනුව පැරණි යුගයන්ට අයත් ස්තූප ආශ්‍රිතව දක්නට ලැබෙන විශාල ශිලාමය ස්ථම්භය යනු පුරාණ ස්තූප ආකෘතියේ අනිවාර්‍ය අංගයක් වන “යූපස්ථම්භය” නම් චෛත්‍යාංගය වන අතර අනුරාධපුර යුගයේ මධ්‍ය වකවානුවෙන් පසු ස්තූප ආකෘතියේ සිදු වූ වෙනස්කම් සමඟ අද වනවිට “යූපගල” හෙවත් “යූපස්ථම්භය” යනු ස්ථූපයන්හි පෞරාණිකත්වය සහ ගාම්භීරත්වය ඉදිරිපත්කරන ප්‍රදර්ශන අංගයක් පමණක් බවට පත්වී ඇති බවක් පෙනී යයි.

-උපුටාගැනීම – https://www.facebook.com/media/set/?set=a.473948889639850&type=3&comment_id=797963870571682

 53 total views,  2 views today

0 0 vote
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments