අතුරුදන් වූ වෛද්‍ය සිසුවා අරංගල කඳු මුදුනෙන් සොයාගනී

ඉකුත් 04 වැනිදා සිට අතුරුදන්ව සිටි වෛද්‍ය සිසුවකු දින තුනකට පසු එනම් 06 වැනිදා දහවල් අරංගල පර්වතය මුදුනේ ගිරි කුළු අතර හුදකලාව සැඟව සිටියදී සොයාගත් බව නාඋල පොලිසිය කියයි. මහනුවර දිගන ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වූ මොහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලද්දෙකි. සිසුවාගේ අතුරුදන් වීම දැනගත් ඔහුගේ දෙමව්පියන් පේරාදෙණිය පොලිසියට පැමිණිලි කර තිබේ.
මේ අතර තරුණයකු ගමන් මලූ කීපයක් රැගෙන අරංගල පර්වතය ප‍්‍රදේශයට 4 වැනිදා සවස 5ට පමණ ගමන් කරන බව දුටු අරංගල ප‍්‍රදේශයේ කාන්තාවක් නාඋල පොලිසියට ඒ බව දැනුම් දී තිබේ. තොරතුරු අනුව ලද සැකය මත සිසුවා සෙවීමේ මෙහෙයුම් 5 වැනිදා ආරම්භ කළ බව පොලිසිය කියයි. ඊට සිසුවාගේ දෙමාපියන් ද එක්ව ඇත. ප‍්‍රදේශයේ පරීක්‍ෂාවෙන් අනතුරුව නාඋල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් සහ දඹුල්ල විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් පිරිසක් 06 වැනිදා උදෑසන 8.30 ට පමණ සිසුවා සෙවීම පිණිස අරංගල පර්වතය තරණය කර ඇත. එහිදී අරංගල කඳු පංතියේ තෙවැනි කන්දේ බෑවුම් ප‍්‍රදේශයක සිටියදී තරුණයා සොයා ගෙන ඇත. පසුව විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ සහ පොලිසියේ සහාය ඇතිව සිසුවා අරංගල කඳු පාමුලට රැුගෙන විත් කඩිනමින් නාලන්ද රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත. පේරාදෙණියේ සිට අරංගල දක්වා කිලෝ මීටර් 60 පමණ දුරක් ගෙවා පැමිණ හුදකලාව පර්වතයට නැගි මෙම සිසුවා දින තුනක් ගත කළේ කුමන කරුණක් නිසා ද යන්න මෙතෙක් හෙළිව නැත. අරංගල කන්ද මීටර් 782ක උසකින් යුක්තය. එය තරණය කිරීම ඉතා දුෂ්කර කාර්යයකි. මෑත කාලයේ යූටියුබ් නාලිකා මගින් මෙම පර්වතය පිළිබඳව ප‍්‍රචාරය වීමත් සමග තරුණ පිරිස් මෙහි ඇදී එන බව ප‍්‍රදේශවාසීහු පැවසූහ.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශාන්ත රත්නපිටිය සහ දඹුල්ල විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි නීතිඥ වරුණ ජයසුන්දර යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි විශේෂ කාර්ය බළකා නිලධාරීන් දස දෙනකු සහ නාඋල පොලිස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක යූ. ජි. පී. කේ. රත්නායක මහතාගේ උපදෙස් පරිදි නාඋල පොලිසියේ නිලධාරීහු විසිදෙනෙක් පමණ මෙම මෙහෙයුම සඳහා එක්වූහ.

 97 total views,  2 views today

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments