එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම මත්තලින් දිවයිනට

ශ්‍රී ලංකාව සමගින් පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් සඳහා සහභාගී වන එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ඊයේ(03 වැනිදා) උදෑසන ශ්‍රී ලංකාවට ළඟාවිය.

ඔවුන් ඊයේ පෙරවරුවේ British Airwaysහි ගුවන් සේවයට අයත් ‘B9110‘ දරන විශේෂ ගුවන් යානය මගින් මත්තල රාජපක්ෂ ගුවන්තොටු​ෙපාළට පැමිණි බව ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා සනාථ කළේය.

මෙම ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට ළඟා වූ පිරිස අතර එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ඇතුළු 40 දෙනෙකු හා ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයන් 13 දෙනෙකු පැමිණ තිබේ. අදාළ පිරිස මත්තල ගුවන් තොටුපොළ පරිශ්‍රය තුළදීම විෂබීජහරණයට ලක් කර පීසීආර් පරීක්ෂණ සඳහාද යොමු කෙරුණු අතර එහි රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයෙන් එම පිරිසේ සියල්ලටම කොවිඩ් ආසාදිත නොවූ බවට තහවුරු විය. පසුව එම පිරිස විශේෂ ආරක්ෂාවක් යටතේ හම්බන්තොට ෂැන්ග්‍රිලා හෝටලය වෙත රැගෙන යාමට කටයුතු යොදා තිබිණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර පුහුණු තරග කිහිපයක් සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන පළමු නිල ටෙස්ට් තරගය එළඹෙන 14 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

දකුණු අප්‍රිකාවේදී ආබාධ රැසකට මුහුණ දී ඇති ශ්‍රී ලංකා සංචිතයට මෙම තරගාවලියේදී ක්‍රීඩකයන් 6 දෙනෙකු ඇතුළත් කිරීමට නියමිත බවට වාර්තා වේ.

ඒ අතර යොවුන් ආරම්භක පිතිකරු අවිෂ්ක ප්‍රනාන්දුද ඇතැයි පැවසෙන අතර ලංකා ප්‍රීමියර් ලිගයේදී ආබාධයකට ලක්වූ ඇන්ජලෝ මැතිව්ස්ද මෙම සංචිතයට ඇතුළත් වීමට නියමිතය. එම ක්‍රීඩකයන් 6 දෙනා අතරට රමේෂ් මෙන්ඩිස්, නුවන් ප්‍රදීප්, රොෂේන් සිල්වා සහ ලක්ෂාන් සඳකැන්ද ඇතුළත් වන බවට සඳහන් වේ.

 234 total views,  2 views today

0 0 vote
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments