දහනවයෙන් පස්සට ගිය රට විස්සෙන් ඉස්සරහට ගන්නවා

විසිවැනි ව්‍යවස්ථා සං​ශෝධනය ප්‍රජාතන්ත්‍ර විරෝධී යැයි කිඹුල් කඳුළු හෙළන්නේ යහපාලන සමයේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කළ අය බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන යටතේ ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ චිත්‍රා මාවත කාපට් කිරීමේ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඇමැති ප්‍රසන්න රණතුංග මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා,

“2015 – 2019 19 ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ මේ රටේ ජනතාව නොමග යවලා. 19 ගෙනාපු අයම 19 නිසා වැඩ කරන්න බැරි වුණා කිව්වා. එදා මහින්ද මහත්තයාට යුද්ධය දිනන්න පුළුවන් වුණේ විධායක බලය තිබුණු නිසා. තීන්දු තීරණ ගන්න පුළුවන් වුණ නිසා. හැබැයි ඒ ගැන ජනතාව අතර බොරු වපුරලා 19 ගෙනල්ලා රට අරාජික කළා. ජනාධිපති කිව්වා තමන්ට බලය නෑ කියලා. අගමැති කිව්වා අගමැතිට බලය නෑ කියලා. දෙන්නා දෙපැත්තට ඇද්දා. රට ආපස්සට ගියා. ඒ නිසයි අපි පසුගිය මැතිවරණයේ දී ව්‍යවස්ථාව වෙනස් කරන්න බලයක් ඉල්ලුවේ. ඉදිරි දින කීපය තුළ 20 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. අපි 19 තියෙන හොඳ දේවල් ඉවත් කරන්නේ නෑ. අපි වෙනස් කරන්නේ 19 හරහා රටට වැඩ කරන්න තියෙන බාධාවන් පමණයි. 35 ට අඩු අයට ජනාධිපතිවරණයට ඉල්ලන්න බෑ කියන සංශෝධනය ගෙනාවේ නාමල්ට ඉල්ලන්න බැරි වෙන්න. නාමල්ට 35 පැනලා නිසා දැන් ඒක අදාළ නෑ. නමුත් අපි තරුණයන්ට අවස්ථාව දෙන්න ඕනේ. ජනතාවට තොරතුරු දැනගැනීමේ පනත අහෝසි කරන්න අපි සූදානම් නෑ.

අපිට ඕනේ වැඩ කරන රටක් හදන්න. ජනාධිපතිවරයාට වැඩ කරන්න පුළුවන් තත්ත්වයක් ඇති කිරීම තමයි 20 වන සංශෝධනය ගෙන ඒමෙන් කෙරෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ව්‍යවස්ථා විරෝධි වැඩ කරන්නේ නෑ. මුළු රටම කියනවා ජනාධිපතිතුමාට ආරක්ෂක අමාත්‍යාංශය භාර ගන්න කියලා. ඒත් 19 නිසා ජනාධිපතිතුමාට ආරක්ෂක අමාත්‍යාංශය භාරගන්න බෑ. යහපාලන ආණ්ඩුව කළේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කළ අයම තමයි 20 වන ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍ර විරෝධියි යැයි කිඹුල් කඳුළු හෙළන්නේ. 20 වන සංශෝධනය හරහා රටේ ප්‍රජාතන්ත්‍රවාදයට කිසිදු තර්ජනයක් එල්ල වී නෑ.” යැයිද පැවැසීය.

 159 total views,  2 views today

0 0 vote
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments