කිසිදු අන්තවාදී ක‍්‍රියාවන්වලට යළිත් රටේ ඉඩක් නැහැ

එල්ටීටීඊ දෙමළ ඩයස්පෝරාවේ ඊළාම්වාදයට සහයෝගය දක්වන පාර්ශ්ව සිය බෙදුම්වාදී අදහස් ප‍්‍රචාරය කිරීම සඳහා හිටපු එල්ටීටීඊ සාමාජිකයන් යොදා ගැනීමට උත්සාහගනිමින් සිටින බවට තොරතුරු ලැබෙමින් පවතින බවත්, නමුත් කිසිදු අන්තවාදී ක‍්‍රියාවන්වලට යළිත් මේ රටේ ඉඩක් නොමැති බවත් ආරක්‍ෂක ලේකම් (විශ‍්‍රාමික) මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසීය.

‘හරිමග’ සංවිධානය විසින් ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේ සංවිධානය කළ ‘පශ්චාත් කොවිඞ් 19 පුනරුදය – ශ‍්‍රී ලංකාවේ වර්තමාන හා අනාගත සංවර්ධනය’ යන තේමාව ඔස්සේ පැවති සැසිය අමතමින් ආරක්‍ෂක ලේකම්වරයා එසේ සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කමල් ගුණරත්න මහතා –

රටේ සංවර්ධනය සඳහා ජාතික ආරක්ෂාව ඉතා වැදගත්. ආරක්ෂාව සාක්ෂාත් නොකරන තාක්කල් රටකට දියුණුවක් හා සංවර්ධනයක් ළඟා කරගන්න බැහැ. ජනාධිපතිවරයාගේ ”සෞභාග්‍යයේ දැක්ම’’ මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය අනුව රටේ සංවර්ධනය පිළිබඳ දැක්මෙහි මූලික පියවර වන්නේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමයි. බෙදුම්වාදය යුධමය වශයෙන් පරාජයට පත් වුවද දෙමළ ඩයස්පෝරාවේ නිරන්තර අනුග‍්‍රහයෙන් පුද්ගලයන් කිහිප දෙනෙකු විසින් සිදුකරන බෙදුම්වාදී මතවාදයන් පැතිරවීම තුරන් කළ යුතුයි.

හිටපු එල්ටීටීඊ සාමාජිකයින් 12,242 ක් පුනරුත්ථාපනය කර සමාජගත කර තිබෙනවා. එල්ටීටීඊ දෙමළ ඩයස්පෝරාවේ ඊළාම්වාදයට සහයෝගය දක්වන පාර්ශ්වයන් විසින් ඔවුන්ගේ බෙදුම්වාදී අදහස් පැතිරවීම සඳහා ඔවුන් යොදා ගැනීමට උත්සාහ කරමින් සිටිනවා. වෙන කවරදාකටත් වඩා මේ රටේ බෙදුම්වාදයට කිසිදිනෙක ඉඩක් නොමැති බවට සහතික වෙනවා. කලින් කළ අනතුරු ඇඟවීම් නොසලකා හැරි නිසා පාස්කු ඉරිදා අන්තවාදී ප‍්‍රහාර මාලාවෙන් විශාල ජීවිත හානියක් සිදුවුණා.

යහපාලන රජය රටේ බුද්ධි අංශවලට විශාල හානියක් කළා. හමුදා බුද්ධි අංශ ක‍්‍රියාකාරීන් සිරගත කොට හිරිහැරයට ලක් කළා. එමගින් අන්තවාදීන්ට ක‍්‍රියාත්මක වීමට අවස්ථාවක් ලැබුණා. පසුගිය සතියේ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝග‍්‍රෑම් 1.5 කට වඩා වැඩි ප‍්‍රමාණයක් සහ ඩෙටනේටර් 90 ක් පමණ මන්නාරමේදී අත්අඩංගුවට ගත්තා. මීට අමතරව ස්වයංක‍්‍රීය දුරස්ථ පාලක උපකරණ කිහිපයක් ද හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අප ද එම සිදුවීම් නොසලකා හැරියේ නම්, මේ කිසිවක් සොයා ගැනීමට නොහැකි වෙනවා. මේ රටේ උතුරෙන් හෝ නැගෙනහිරින් අන්තවාදයට නැගීසිටීමට කිසි දිනෙක ඉඩ තබන්නේ නැහැ. මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව සටන් කිරීම සහ බන්ධනාගාරවල සිට ක‍්‍රියාත්මක වන සංවිධානාත්මක අපරාධ වැළැක්වීම සඳහා නිවැරදි සැලසුම් සකස් කළා. පළමුව අපි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය භාරව දක්ෂ නිලධාරීන් පත් කිරීමට පියවර ගත්තා.

බන්ධනාගාරවල පවත්නා ක‍්‍රමයන් වෙනස් කිරීම සඳහා නමගිය අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිරගත කිරීම සඳහා දැඩි ආරක්ෂිත බන්ධනාගාරයක් මේ වන විටත් ඉදිවෙමින් පවතිනවා. ජංගම දුරකථන ජෑමර් මේ වන විටත් බූස්ස සහ අගුණකොළපැලැස්ස බන්ධනාගාරවල ස්ථාපනය කිරීමට කටයුතු යොදා තිබෙනවා. බන්ධනාගාර රැුඳවියන්ගේ සුභසාධන ගැටලූ විසඳීමට සහ බන්ධනාගාරවල තදබදය අඩු කිරීමට ද සැලසුම් සකස් කරමින් තිබෙනවා.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීම සඳහා වන පහසුකම් වැඩි කිරීමට පියවර කිහිපයක් ගෙන තිබෙනවා. රැුඳවියන් දහසකට වැඩි පිරිසකට නවාතැන් පහසුකම් සහිත නවීන පහසුකම්වලින් සමන්විත විශේෂ මධ්‍යස්ථානයක් දැන් නිට්ටඹුව ප‍්‍රදේශයේ ඉදිවෙමින් පවතිනවා. වීරවිල ප‍්‍රදේශයේ රැුඳවියන් 2,000 ක් සඳහා රැුඳවීම සඳහා මධ්‍යස්ථානයක් ඉදිකිරීමට නියමිතයි.

මෙම අවස්ථාව සඳහා විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර,  බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය, ‘හරිමග’ සංවිධානයේ සභාපති කනිෂ්ක ද සිල්වා යන මහත්වරු ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

 162 total views,  2 views today

0 0 vote
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments