දුරකථනයට කවදාවත් පොහොට්ටුව වෙන්න බෑ

සමගි ජන බලවේගයේ එකම අරමුණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගන්නා සේ ස්ථාවරත්වයක් ලබාගැනීම බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක පැවසීය. මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ සිරිකොත එජාප පක්ෂ මූලස්ථානයේ ඊයේ (02 වැනිදා) පැවති මාධ්‍ය හමුවකදීය.

කෙසේ වෙතත් එවැනි ස්ථාවරත්වයක් සමගි ජන බලවේගයට කිසිදා ලබාගැනීමට නොහැකි බවද හෙතෙම කීවේය. මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ මහින්ද රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාස යන පාර්ශ්වයන් සංසන්දනය කිරීමට නොහැකි බවයි. එමෙන්ම සජිත් ප්‍රේමදාසට එජාපයේ දොර ඕනෑම අවස්ථාවක විවෘතව ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ නවීන් දිසානායක මෙසේද කීය.

පසුගිය සිකුරාදා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය හමුවෙලා පක්ෂයේ ප්‍රබල සාමාජිකයන් අනූදෙනකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටෙව්වා. මේක බරපතළ තීරණයක්. මම හිතන් නැහැ ඒ පක්ෂ තහනමට ලක්වුණු අපගේ මිත්‍රයන් ඒක බලාපොරොත්තු වුණා කියලා. කොටින්ම කියනවා නම් මාර්තු 19ට පෙර සතිය තමයි නාමයෝජනා වෙන වෙනම යන්න අන්තිමට තීරණය වුණේ.

අපි ඔක්කොමලා හිතුවේ එක්සත් ජාතික පක්ෂයේ ලාංඡනය යටතේ තරග කරන්න. විශේෂයෙන්ම යම්කිසි දේශපාලන තීරණ ටිකක් අරගෙන තිබුණා සන්ධානයක් හදන්න. සජිත් ප්‍රේමදාස ඒකේ නායකයා වෙන්න, විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කරන්න. නමුත් ලාංඡනය ගැන තීරණයකට ආවේ නැහැ.

මට මතකයි අද වගේ දිනයක කබීර් හෂීම් කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී නැගිටලා කිව්වා දුරකථනයට කැමැතිද කියලා. නමුත් ඒ යෝජනාවට වැඩි පිරිසක් කැමැති වුණේ නැහැ. වැඩි පිරිසකගේ වැඩි කැමැත්ත තිබුණේ අලියා යටතේ තරග කරන්න. එතකොට අපිට මේ ගැන තර්ක විතර්ක කරන්න පුළුවන්.

මම දැක්කා සමගි ජන බලවේගයේ පිරිසක් කියනවා මේක නීත්‍යනුකූල නැහැ කියලා. ඇත්ත වශයෙන්ම ඒ අයත් දන්නවා නීත්‍යනුකූලයි කියලා. මොකද කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතරයක් හිටියේ අපේ මතයේ. ඒ මතය තමයි එක්සත් ජාතික පක්ෂයේ අලියා යටතේ තරග කරන මතය.

පක්ෂයේ විනයක් තියෙන්න ඕන. එතකොට ඕන එක්කෙනෙක්ට පක්ෂ සාමාජිකත්වය අරගෙන තවත් පක්ෂයකින් නාමයෝජනා අත්සන් කරන්න බැහැ. මොන බලවතා, මොන ජගතා වුණත් පක්ෂයේ විනය අපි ආරක්ෂා කළ යුතුයි. ඒ නිසා තමයි එක්සත් ජාතික පක්ෂයක් අද මේ මාතෘභූමියේ තියෙන්නේ. නැත්නම් මේ පක්ෂයත් සීසීකඩ කැඩිලා ගිහින්. එහෙම වෙලා නැහැ. ඉතින් රනිල් වික්‍රමසිංහගේ තියෙන අඩුපාඩුකම්, චෝදනා ඔක්කොම ප්‍රකාශ කරන එක දේශපාලන වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. නමුත් කවුරු මොනවා කීවත් එතුමා මේ අවුරුදු විසි ගාණේ මේ පක්ෂය තුළ තිබෙන සාරය ආරක්ෂා කරලා තියෙනවා. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය.

පක්ෂය ඇතුළේ කවුරු මොනවා කීවත් සජිත් ප්‍රේමදාස ඇතුළු සියලු දෙනාට තමාගේ අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාව තිබුණා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ පක්ෂයේ හැමදාම නායකයා නෙවෙයි. එතුමා පැහැදිලි පඩිපෙළක් හදලා තියෙන්නේ. ඒ පඩිපෙළේ ඉස්සරහම හිටියේ සජිත් ප්‍රේමදාස.

අපි සියලු දෙනාම අත උස්සලා තමයි දෙදහස් විසිතුන වෙනකම් රනිල් නායකයා වශයෙන් කටයුතු කළ යුතුයි කියන තීන්දුවට ආවේ. රනිල් වික්‍රමසිංහ අයින් කළ යුත්තේ පක්ෂයේ ව්‍යවස්ථාව අනුවයි. එහෙම නම් නැවතත් සම්මේලනයක් කැඳවලා යෝජනාවක් ගෙනැල්ලා ඒ යෝජනාව ස්ථිර කරගත යුතුයි. එහෙම ආවා නම් අපිට ගැටලුවක් නැහැ. වක්‍රාකාරයෙන් පක්ෂ නායකත්වය ලබාගන්න උත්සාහ කරලා ඒක අසාර්ථක වුණාම එජාපයට උඩින් තවත් දේශපාලන ව්‍යාපාරයක් හදනවා.

ඒ නිසා මම පැහැදිලිව කියනවා දුරකථනය සෑදීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය එකඟ වුණේ නැහැ. ඒ නිසාම තමයි අපේ හිටපු මිත්‍රයන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවන්න අපිට සිද්ධ වුණේ. පැහැදිලිවම එජාපය තියෙන්න ඕන, ආරක්ෂා කරන්න ඕන. මේක අපේ ජීවනාලිය. එක්සත් ජාතික පක්ෂය කියන්නේ අපේ ආගමක් වගේ දෙයක්. අලියා ලකුණ කියන්නේ අපේ ලකුණ. මේක කාගෙවත් බූදලයක් නෙවෙයි. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා අලියා ලකුණ සමග ඉන්න.

මට හිතෙන දෙයක් තමයි සජිත් ප්‍රේමදාස ගැටයකට අහුවුණා කියලා. ඒ වගේම තමයි ආර්ථික උත්තේජන පැකේජයක් ලබාදී නැති ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව. අපගේ අසල්වැසි රට වන මහා භාරතය ඇමරිකානු ඩොලර් බිලියන 265ක් වෙන් කරලා තියෙනවා ඔවුන්ගේ ආර්ථිකය ​ගොඩ ගන්න.

ඒ නිසාම අද අපේ රටේ මතයක් ඇතිවේගෙන යනවා ආර්ථිකය කළමනාකරණය කිරීමට හොඳම නායකයා රනිල් වික්‍රමසිංහ කියලා. කොච්චර අඩුපාඩුකම් තිබුණත් එතුමාට මේ ආර්ථිකය කළමනාකරණය කිරීමට හැකියාව තියෙනවා කියන විශ්වාසය ජනතාවට තියෙනවා.

 283 total views,  2 views today

0 0 vote
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments